”චන්න මිනී වලවල් කපන්නේ සම්මේලනයේ වරදින්ද?” – හිටපු සභාපති අසයි

951
EB channa

“E.B. චන්නට මිනී වලවල් කපන්න සිදුවීම ඔහුගේම වරදින් සිදුවූ දෙයක්. ඔහු අපිවත් ඒ මිනී වලටම ඇදලා දමන්න උත්සාහ කරනවා. හරියට පාපන්දු සම්මේලනයේ වැරැද්දෙන් ඔහු මේ තත්ත්වෙට වැටුනා වගේ” – රංජිත් රොද්‍රිගෝ -මාධ්‍ය සහ මූල්‍ය අංශ ප්‍රධානී – ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය.

ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ සුපර් 8 වටයේ නව තරග කාලසටහන එලි දැක්වීම පාදක කොටගනිමින් පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී වෙනත් මාතෘකා කිහිපයක් පිළිබඳවද කතා බහට ලක්විය. හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක් වන E.B. චන්න මේ වනවිට පත්ව සිටින අසීරු තත්ත්වය පිළිබඳවත් එහිදී ගැටළුවක් ඉදිරිපත් විය.

පසුගිය ලිපි: ඊ .බී . චන්න ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති සහ වත්මන් මාධ්‍ය සහ මූල්‍ය ප්‍රධානී ලෙස කටයුතු කරන රංජිත් රොද්‍රිගෝ මහතා මෙම ගැටලුව පිලිබඳ වැඩිදුරටත් පැවසුවේ චන්න විසින් තම ජීවිත රටාව මෙවන් ආකාරයට හැඩගස්වා ගත්තා මිස, පාපන්දු සම්මේලනය ඔහුව එම තත්ත්වයට ඇද නොදැමූ බවයි.

චන්න වසර 16ක් පුරා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් පමණක් නොව ඔහු එහි නායකත්ව වගකීමද වසර කිහිපක් දැරූවෙකි. අති සාර්ථක ක්‍රීඩා දිවියක් ලෙස හැඳින්විය හැකි ඔහුගේ තරග කාලසීමාව තුල චන්න මෙරට ප්‍රමුඛතම පාපන්දු බල කණු ලෙස සැලකෙන රත්නම්, බ්ලු ස්ටාර් සහ සොලිඩ් ක්‍රීඩා සමාජ නියෝජනය කළේ මෙරට පාපන්දු ක්‍රීඩකයින් අතර වැඩිම ගෙවීමක් ලද ක්‍රීඩකයන් අතරටද එක වෙමිනුයි. කෙසේ වෙතත් ඔහුගේ ජීවිතයේ කඩා වැටීම ආරම්භ වූයේ 2010 වසර තුළදීයි, එනම්, තරග පාවා දීමේ සිදුවීමක් හේතුවෙන් චන්නට වසරක තරග තහනමක් පැනවීමත් සමගයි.

රොද්‍රිගෝ මහතා පවසන ආකාරයට “චන්නගේ ක්‍රීඩා දිවියේ වටිනාකම හේතුවෙන් ඔහුට ඉතා ඉහල මට්ටමේ රැකියා කිහිපයක්ම ලබා දෙනු ලැබුවා. එම රැකියා මගින් ඔහුට ඉතා සාර්ථක ජීවිතයකට හොඳ අඩිතාලමක් දමා ගැනීමට හැකියාව තිබුනා. නමුත් ඔහුගේ බලාපොරොත්තු සපුරන්නට එය ප්‍රමාණවත් වුනේ නැහැ. ඔහු එම රැකියා අවස්ථා සියල්ල ප්‍රතික්ෂේප කළා

සරත් වීරසේකර මහතාගේ පාලන සමය තුල ඔහු චන්නට ස්ථාවර ආදායමක් ලබා ගැනීමේ මාර්ගයක් ලෙස DIMO ආයතනයේ රැකියාවක් ලබා ගන්නට උදව් කළා. නමුත් ඔහු එම ආයතනයට පැමිණියේ ඔහුගේ වේතනය ලබා ගැනීමට මිස වැඩ කිරීමට නම් නොවෙයි. රොද්‍රිගෝ මහතා පැවසුවේ ආවේගශීලී ලෙසින්.

රංජිත් රොද්‍රිගෝ මහතා වැඩි දුරටත් පැවසුවේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සැමවිටම ඔවුන්ට පැවරෙන වගකීම් කොටසද ඉක්මවා යමින් ක්‍රීඩකයන්ගේ සුභසාධනය සඳහා කටයුතු කළද, තම තමන්ගේ ජීවන රටාව හැඩගස්වා ගැනීමේ වැඩිම වගකීම ක්‍රීඩකයන් මත රඳා පවතින බවයි.

අපේ වගකීම් වන ආහාර, නවාතැන්, ප්‍රවාහන සහ ජීවන වියදම් සපයා දීම හැරුණු විට සම්මේලනය එතනින් එහාට ක්‍රීඩක සුබසාධනය සඳහා බොහෝ දේ සිදු කරනවා. නමුත් ක්‍රීඩකයන් තේරුම් ගත යුතුයි මේක සංවර්ධනය වෙමින් පවතින රටක්. අපිට බෑ පළමු ලෝකයේ (සංවර්ධිත) රටක වගේ ක්‍රීඩකයන්ගේ සියලුම අවශ්‍යතා සපුරන්න. තමන් ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ බව දැනගෙන ජීවිතයේ ඉදිරි කාලය ගෙවන ආකාරය සැලසුම් කිරීම ක්‍රීඩකයන්ගේත් වගකීමක්.

පසුගිය ලිපි: පාපන්දු ශූරයාට අැමතිගේ අවධානය

රංජිත් රොද්‍රිගෝ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හිටපු ක්‍රීඩකයන්ගේ දක්ෂතා තව දුරටත් ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් ඔවුන් පුහුණුකරුවන් බවට පත් කිරීමේ පාඨමාලා සංවිධාන කර ඇති නමුත් චන්න එවන් අවස්ථා ද සිතා මතාම මගහැර ඇති බවයි. ඩඩ්ලි ස්ටෙන්වෝල් වැනි ක්‍රීඩකයන් පුහුණුකරු පාඨමාලාව ‘B’ ශ්‍රේණියේ සහතිකයක් සමග අවසන් කර දේශීය මෙන්ම විදෙස් කණ්ඩායම්ද පුහුණු කිරීමේ අවස්තාව හිමි කරගත් ආකාරය උදාහරණයක් ලෙස ගෙන හැර පෑමටද හිටපු සභාපතිවරයා කටයුතු කරන ලදී.

චන්නගේ පාපන්දු ජීවිතය දෙස හැරී බලන විට යුරෝපීය සුපිරි පාපන්දු තරුවකගේ මහාර්ඝ ජීවන රටාවකට ඔහුටද හිමිකම් කිව හැකි ලකුණක් දක්නට ලැබුනද, යතාර්ථය වන්නේ මෙරට පාපන්දු ක්‍රීඩාව තිබෙන තත්ත්වය අනුව එවන් ජීවන රටාවක් පිලිබඳ සිතීමත් සිහිනයක් පමණක් බවයි.

පාපන්දු ක්‍රීඩාව තුළ මෙවන් සිදුවීමක් වාර්තා වූ පළමු අවස්තාව මෙය වීම රංජිත් රොද්‍රිගෝ මහතාගේ ආවේගශීලීත්වය වැඩි කිරීමට හේතුවක් වූ බවක් දක්නට ලැබුණි. පාපන්දු ක්‍රීඩාව තරම්වත් ආදායමක් නොලැබෙන අනෙක් ක්‍රීඩා වලින්වත් මෙවන් දේ වාර්තා වෙන්නේ නැහැ. මෙවන් සිදුවීම් සම්මේලනයේ දැනට තිබෙන ප්‍රශ්න නිසා දැවෙන ගින්නට පිදුරු දැමීමක් වගේ.

හිටපු සභාපතිවරයා මෙරට හිටපු ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩකයන් උදාහරණ ලෙස පෙන්වමින් පැවසුවේ, චන්න තරම් ක්‍රීඩාවෙන් සාර්ථකත්වයක් ලබා නොගත් ක්‍රීඩකයන්ද මේ වනවිට ජීවිතය ගෙවීම සඳහා සාර්ථක ආදායම් මාර්ග සොයාගෙන ක්‍රීඩාවට, බලධාරීන්ට හෝ තමන්ට අගෞරවයක් නොවන අයුරින් ජීවත්වන බවයි.

ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට බලාපොරොත්තු තබා සිටින තරුණ පරපුර මෙම සිදුවීම පාඩමක් කොට ගෙන මෙරට ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා දායක විය යුතු බව රංජිත් රොද්‍රිගෝ මහතා අවසන් වශයෙන් පැවසීය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඉහල නිලධාරියෙකු සිදු කරන මෙවන් ප්‍රකාශ තුලින් යමෙකුට දෙවරක් සිතීමට හැකි ගැටළුවක් පැන නගියි.

ඇත්ත වශයෙන්ම චන්න තමන්ගේ වල තමන් විසින්ම කපා ගත්තාද? නැතහොත් ඔහු සිටින මෙම අසරණ තත්ත්වයට පාපන්දු සම්මේලනයත් වගකිව යුතුද?” යන්නයි. ඔබේ මතය පහතින් පලකරන්න.

වසර 16ක් ක්‍රීඩාව වෙනුවෙන් කැපවුණු චන්න අද මිනී වලවල් කැපීම ඇත්ත වශයෙන්ම මෙරට ක්‍රීඩකයන්ගේ අනාගතය පිලිබඳ දෙවරක් සිතන්නට සිදුවන අවස්ථාවකි. එමෙන්ම ඕනෑම කෙනෙකුගේ ජීවිතය හැඩගස්වා ගැනීමේ වගකීම වෙනත් කෙනෙකුට හෝ ආයතනයකට භාර දිය නොහැකි බවත් පිළිගත යුතුම කරුණකි. දෙපාර්ශ්වයේම චෝදනා සාධාරණ වුවත් අවසානයේ සිහියට නැගෙන්නේ මෙම පැරණි සිංහල කියමනයි “තමන් හිසට තම අතමය සෙවනැල්ල”

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට