ශ්‍රී ලංකා කෙටි දුර ධාවකයින් Dubai Grand Prix හිදී කැපී පෙනෙන දස්කම් අතරට

35
Dubai Grand Prix 2025

Dubai Grand Prix 2025 මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (09) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සාර්ථකව නිමාවට පත් වුනා.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ද ක්‍රීඩකයින් පස් දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන් ඉතා ඉහළ දක්ෂතා අතරට පිවිසීමට සමත් වීමත් විශේෂත්වයක්. 

මෙහි දී පිරිමි මීටර් 100 Final Section 1 තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූරයා වන යුපුන් අබේකෝන් තරග බිමට පිවිසුණු අතර, සුළඟේ කිසිඳු දායකත්වයක් නොමැතිව වුව ද ඔහු මෙහි දී තත්පර 10.39කින් තරගය නිම කරමින් 05 වැනි ස්ථානයට පත් වුනා. මෙය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතා අතරේ තැබිය නොහැකි වුනත්, කලකට පසුව ධාවන පිටියට පිවිසෙමින් නැවතත් තම ඉසව්ව වෙනුවෙන් ලැබු හොඳ ආරම්භයක් ලෙස හඳුන්වාදිය හැකි. 

මේ අතර Final Section 2 ඉසව්වට සහභාගී වූ චමෝද් යෝධසිංහ තත්පර 10.27ක තරග නිමි කාලයක් සමඟ ඉසව්වේ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා. 

පිරිමි මීටර් 100 සඳහා තරග වට 6ක් ක්‍රියාත්මක වූ අතර, ක්‍රීඩකයින් 44ක් සහභාගී වුනා. මේ අතුරින් දෙවැනි ස්ථානය චමෝද් හිමි කරගන්නා අතරේ, යුපුන් අබේකෝන් 06 වැනි ස්ථානයට පත් වීම විශේෂත්වයක්. 

මින් පසුව තරගාවලියේ අවසන් ඉසව්ව ලෙස පිරිමි මීටර් 100×4 ඉසව්ව ක්‍රියාත්මක වූ අතර, මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන්, චමෝද් යෝධසිංහ, මෙරෝන් විජේසිංහ සහ දෙනෙත් වීරරත්න යන ක්‍රීඩකයින් ධාවන පථයට පිවිසුණු අතර, මෙහි දී ඔවුන් විසින් තත්පර 39.41ක තරග නිමි කාලයක් සමඟ ඉසව්වේ සිව්වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වුනා. 

මේ අතර World Relay Championship තරගාවලිය ද අද (10) දිනයේ ආරම්භ වීමට නියමිතයි. එම ධාවන ඉසව්ව පිළිබඳ තරග විස්තර ද ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>