වයඹ සුලෝහිත සංග්‍රාමයේ ජය හලාවත ආනන්දයට

2344
Pannala Central college v Chilaw Ananda College

පන්නල ජාතික පාසල සහ හලාවත ආනන්ද විද්‍යාලය අතර “වයඹ සුලෝහිත සංග්‍රාමය” නමින් ප්‍රථම වරට පැවැත්වුණු  සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන්, හලාවත ආනන්ද විද්‍යාලය එක් ලකුණක තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය. තරගය ඊයේ (4) පන්නල ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

කුසල් ආර්. ප්‍රේමදාස පිටිය දෙවනත් කරයි; ජය ශ්‍රී ලංකාවට

සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකම ජය පරාජයෙන් තොරව..

විද්‍යාල දෙක අතර පළමු මහා ක්‍රිකට් ගැටුමේ කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාලයීය නායක අශාන් ඉඳුරු බණ්ඩාර පළමුව පන්දුවට පහර දීම තොර ගත්තේය. ඒ අනුව සිය ඉනිම ආරම්භ කිරීමට පිටියට අවතීර්ණ වූ ආනන්ද විද්‍යාල ආරම්භක පිතිකරු දෙපල වූ අශේන් මෙත්තසිංහට සහ චමෝද් ලක්ෂාන්ට වැඩි වෙලාවක් පිටියේ රැඳී සිටීමට අවසර නොලැබුණි. ඒ පන්නල විද්‍යාලයේ ආරම්භක වේග පන්දු යවන ක්‍රීඩක හෂාන් මදුසංකගේ කඩුලු දඩයමට හසුව සිය කඩුලු පූජා කිරීමට ඔවුන්ට සිදු වූ නිසාය. පළමු කඩුල්ල ලෙස අසින්ත මෙත්තසිංහ ලකුණු 6කට දැවී යන විට ආනන්ද ලකුණු පුවරුවේ මුළු ලකුණු ගණන 8ක් ලෙස දැක්විය. ඉන් පසු එම ලකුණු පුවරුවට තවත් ලකුණු 17ක් එකතු වූ පසු ආනන්ද ඉනිමේ දෙවන කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු චමෝද් ලක්ෂාන් ලකුණු 16කට දැවී ගියේය.

3 වන කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 34ක සබඳතාවයක් මිහිඳු හික්කඩුව සහ අචලංක බාලසුරිය අතර ඇතිවූ අතර, එම සබඳතාවය බිඳ වැටුණේ ලකුණු 12කට මිහිඳු හික්කඩුව සිතුම් අකලංකගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමඟිනි. ඉන් අනතුරුව පිටියට පිවිසි ආනන්ද නායක ඉඳුල බණ්ඩාරව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට සිතුම් සමත් විය. ඒ වන විට ඉඳුල ලබා සිටියේ එක් ලකුණක් පමණි.

ඉන් අනතුරුව ලකුණු 9ක් ලබා සිටි අචලංක බාලසුරිය ද සිතුම්ගේ කඩුලු දඩයමට හසු විය. 6 වන කඩුල්ල ලෙස සත්රුවන් පියුමන්ත ලකුණු 10කට සිය කඩුල්ල අහිමි කර ගත් අතර ඉන් පසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට පන්නල ජාතික පාසල් ක්‍රීඩකයෝ ඉඩ ලබා නොදුන්හ. පන්දුවාර 40 පන්දු 3ක් අවසානයේ සියලු දෙනාම දැවී හලාවත ආනන්ද විද්‍යාලයට ලබා ගත හැකි වූයේ ලකුණු 125ක් පමණි.

මෙම ඉනිමේ 9 වන කඩුල්ල ලකුණු 83කට බිඳ වැටුණු පසු අවසන් කඩුල්ල ලබා ගැනීම සඳහා පන්නල ජාතික පාසල් කණ්ඩායමට තවත් ලකුණු 42ක් ප්‍රතිවාදීන්ට ලබා දීමට සිදු විය. එය එම ඉනිමේ වාර්තා වූ ඉහළම සබඳතාවය විය. අවසන් පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසි මදුරංග සිල්වා ලකුණු 21ක් ලබා සිටිය දී දුවද්දී දැවී යාමකට හසු වූ අතර ඉෂාර මදුෂාන් නොදැවී රැස් කළ ලකුණු ගණන 18කි. ලකුණු 83කට කඩුලු 9ක් ලෙස දැක්වූ ලකුණු පුවරුව මෙවන් ගෞරවනීය තැනකට ගෙන ඒමට මෙම පසුපෙළ පිතිකරු යුගලයට හැකි වීම නිසා සිය පාසලට අත්වීමට තිබූ අවමානයෙන් ගැලවීමට ඔවුන්ට හැකි විය.

ලකුණු 126 ඉලක්කයක් හඹා යාමට පැමිණි පන්නල ජාතික පාසල් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මනෝජ් මදුසංක සිය ඉනිමේ ප්‍රථම පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගියේ මදුරංග සිල්වාගේ පන්දුවක් හමුවේය. පළමු පන්දුවෙන්ම පීඩනය පන්නල විදුහල වෙත යොමු කිරීමට හලාවත ආනන්ද විද්‍යාලය සමත්වුව ද, 2 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 35ක සබඳතාවයක් පැවැත්වීමට පන්නල විද්‍යාලයට හැකි විය. ඉන් අනතුරුව 2 වන කඩුල්ල ලෙස ලකුණු 20ක් ලබා සිටි ඉසුරු සම්පත් දැවී ගියේ ඉෂාර මදුෂාන්ගේ පන්දුවකටය. ඉන්පසු ලකුණු 19ක් ලබා සිටි මදුෂාන් නිමේෂ් තෙවන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

කඩුලු 5ක් දැවී ලකුණු 90ක් රැස්කරගෙන සිටි පන්නල ජාතික පාසල් කණ්ඩායම පීඩනය ක්‍රමයෙන් හලාවත ආනන්ද විද්‍යාලය වෙත දෝලනය කරමින් තරමක ප්‍රබල ස්ථානයක පසු විය. ඉන්පසු 6 වන කඩුල්ල ලෙස මුළු ලකුණු 113ක දී ලකුණු 12ක් ලබා සිටි  හෂාන් මදුසංක පිටියෙන් ඉවත් විය. පන්නල ජාතික පාසල් කණ්ඩායමට තවත් ලකුණු 6ක් එකතු වෙද්දී ප්‍රතිවාදී කඩුලු 3ක් සිය කඩුලු ගොන්නට දමා ගැනීමට ආනන්ද විද්‍යාලය සමත් විය. ඒ සමඟම තරගය යළිත් දෙපිලටම විවෘත විය. මෙතෙක් වෙලා ජය ඝෝෂා නගමින් සිටි දෙපිලේම ප්‍රේක්ෂකයින් මීයාට පිම්බාක් මෙන් නිහඬව බලා සිටියේ කුමකින් කුමක් වේ දෝ යන සැකයෙනි. ක්‍රිකට් යනු අවසන් මොහොත දක්වාම අනාවැකි පල කල හැකි ක්‍රීඩාවක් නොවන බව සනාථ කරමින් ජයග්‍රහණයට තවත් ලකුණු 2ක් ඉතිරිව තිබිය දී දිල්ෂාන් සුපුන් ලකුණු නොලබා දැවී ගියේය. ඒ සමඟින්ම හලාවත ආනන්ද විද්‍යාලය ප්‍රථම වයඹ සුලෝහිත සංග්‍රාමය එක ලකුණකින් ජය ගැනීමට සමත් විය. ඒ අනුව ප්‍රථම තරගයට සත්කාරකත්වය ලබා දුන් පන්නල ජාතික පාසලට මෙම කුසලානයේ පහස විඳීමට තවත් වසරක් බලා සිටීමට සිදු වනු ඇත.

තරගයේ හොඳම පන්දු යවන්නාට හිමි සම්මානය ලකුණු 29කට කඩුලු 4ක් බිඳ දැමූ පන්නල ජාතික පාසලේ සිතුම් අකලංකට හිමි විය. හොඳම පිතිකරු සම්මානය හිමිවූයේ පන්නල ජාතික පාසලේ ශාමික රුක්ෂාන්ටය. හොඳම පන්දු රකින්නා ලෙස සම්මාන ලැබුවේ හලාවත ආනන්ද විද්‍යාලයේ ඉඳුල බණ්ඩාරය. තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ හලාවත ආනන්ද විද්‍යාලයේ මදුරංග සිල්වාය.

හලාවත ආනන්ද විද්‍යාලය සියල්ලන් දැවී ලකුණු 125 (පන්දුවාර 40.3): මදුරංග සිල්වා 21, ඉෂාර මදුෂාන් 18, චමෝද් ලක්ෂණ 16, සිතුම් අකලංක 29/4, පුලස්ති කව්ෂාන් 28/3, හෂාන් මදුසංක 30/2

පන්නල ජාතික පාසල සියල්ලන් දැවී ලකුණු 124 (පන්දුවාර 32.5): ශාමික රුක්ෂාන් 34, ඉසුරු සම්පත් 20, මදුෂාන් නිමේෂ් 19, සිතුම් අකලංක 18, නිශාඩ් බණ්ඩාර 21/4, අසින්ත මෙත්ත්සිංහ 9/2, මදුරංග සිල්වා 22/2

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට