ප්‍රශංසනීය ඉනිමක් සමඟින් ඉනිම ගොඩ දැමූ වමත් පිතිකරුවා – දිමුත් කරුණාරත්න

394

දකුණු අප්‍රිකාව වැනි විශිෂ්ට පන්දු යැවීමේ බලකායක් හමුවේ ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශතකයක් වාර්තා කිරීම පහසු වැඩක් නොවේ. විශේෂයෙන්ම විවාදයකින් තොරව මේ වන විට ලොව හොඳම වේගපන්දු යවන්නන් තිදෙනෙක් ඔවුන් සතුව සිටින අවස්ථාවක.

කෙසේ නමුත් කණ්ඩායමේ වගකීම සියතට ගත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආරම්භක පිතිකරු, තිස් හැවිරිදි දිමුත් කරුණාරත්න පැය හයක මහන්සියෙන් නොදැවී ලකුණු 158ක් ලකුණු පුවරුවට එක් කළේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ ශ්‍රී ලංකාවට අත්වන්නට ගිය දරුණු ඉරණමකින් සිය කණ්ඩායම ගලවා ගනිමින්.     

කුසල්, දිමුත් ලකුණු පුවරුව ගොඩ දමන්නට වෑයම් කරති

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට්…

කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කර ඉනිම අවසානයේ නොදැවී සිටින්නට සමත්වූ සිව්වැනි ශ්‍රී ලංකා පිතිකරුවා බවට ඊයේ පත්විය.

ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා කගිසෝ රබාඩා අද ගාලු ක්‍රීඩාංගණයේ සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අතර ඔහු තෙවැනි වරට (Third Spell) පන්දු යැවීමට පැමිණි පසු පන්දු තුනක කාල සීමාවක් ඇතුලත ඇන්ජෙලෝ මැතිව්ස් හා රොෂේන් සිල්වා යන දෙදෙනාම පිට පිට ක්‍රීඩාගාරයට හරවා යැව්වේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 119කට කඩුලු පහක් බවට පත් කරමින්.  

කගිසෝ රබාඩා හට අනගි සහයක් දුන් අනෙක් දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ද ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවට පහර පිට පහර එල්ල කළ නමුත් වෙනත් තණතිල්ලක පන්දුවට පහර දෙනවාක් මෙන් අනෙක් අන්තයේ ඉතා පහසුවෙන් පන්දුවට පහර දුන් දිමුත්, රබාඩා හා අනෙක් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් පහසුවෙන් හසුරුවමින් ශ්‍රී ලංකාවට සිටින හොඳම වමත් පිතිකරු තමන් බව නැවත වතාවක් ඔප්පු කිරීමට සමත් විය.   

“මගේ අරමුණ වෙන්නේ පිටියට පිවිසෙන හැම වතාවකම විශාල ඉනිමක් ක්‍රීඩා කරන්නට උත්සහ කරන එක, අපේ පිතිකරණ පුහුණුකරු (තිලාන් සමරවීර) මට හැමවෙලේම කිව්වේ අවසන් කඩුල්ල වනතෙක් පිටියේ රැඳී සිටින්න කියලා, මම අමුතු දෙයක් කළේ නැහැ, මම කළේ මම හැමදාම කරන දේ, දිගු වේලාවක් ක්‍රීඩා කරන එක” තරගයෙන් අනතුරුව දිමුත් පවසා සිටියේය.

2012 ටෙස්ට් වරම් ලැබීමෙන් අනතුරුව එතරම් සාර්ථකත්වයක් පෙන්වීමට අසමත් වූ නිසා දිමුත්ට සිදු වූයේ කණ්ඩායමේ ස්ථානය වෙනුවෙන් සටන් වැදීමට වූ නමුත් පසුගිය වසර තුන ඇතුලත ශතක හයක් වාර්තා කර ගත් ඔහු කාලයත් සමඟ ඔහුගේ පරිණත බව මනාව පෙන්නුම් කරන්නට සමත් විය.

2017 වසර ඔහුට විශිෂ්ට වසරක් වූ අතර 2017 වසරේ ලොව පස්වැනියට වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා වෙමින් ලකුණු 1031 රැස් කර ගත් අතර අවාසනාවන්ත ආබාධයක් නිසා කොදෙව් සංචාරය අහිමි වුනත් නැවත කණ්ඩායමට එක්වූ පළමු දිනයේම ලකුණු 158ක සුපිරි ඉනිමක් ගොඩනැගීම කිසිවෙකු අපේක්ෂා කළේ නැත.   

දකුණු අප්‍රිකානු සංචාරයට ප්‍රථම ඔහුව ලකුණු අතරට ගෙන ඒම තේරීම් කමිටුවේ අරමුණ වී තිබුණු අතර ඒ සඳහා සිය එකම සහෝදරියගේ විවාහය ද මගහැර ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟ බංගලාදේශයට යාමට ඔහුට සිදුවිය.  

චන්දිමාල්, ගුරුසිංහ හා හතුරුසිංහ ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක…

“මේ මගේ විශිෂ්ටතම ඉනිමක්, නවසීලන්තයේ දී (152) හා ඉන්දියාවට එරෙහිව (141) ක්‍රීඩා කළ ඉනිම් සමගම මේ ඉනිමත් මගේ හොඳම ඉනිම් තුන අතරට එක්වෙනවා”

කරුණාරත්න සිය පා ඉන්න දෙසින් පන්දුවට පහර දීමට ඉතා කැමැත්තක් හා දෙවන ඉනිමේ දී විශාල ඉනිම් ක්‍රීඩා කිරීමට විශේෂ කැමැත්තක් දැක්වූ බවක් පසුගිය කාලයේ දී පෙනී ගිය නමුත් බ්‍රහස්පතින්දා දකුණු අප්‍රිකාවට එරෙහිව පිට ඉන්න මෙන්ම පා ඉන්නෙන් ද ලකුණු රැස් කරමින් තරගයේ පළමු ඉනිමේම ශතකයක් වාර්තා කළේ සියලු දෙනාම මවිත කරමිනි.  

ලකුණු 176 කඩුලු 8ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අසීරු තත්වයක සිටි මොහොතක ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් හා ලක්ෂාන් සඳකැන් හා එක්ව දිමුත් ලකුණු 287ක් කරා ශ්‍රී ලංකාව රැගෙන ගිය ආකාරය ප්‍රශංසනීය ය.   

අවසන් පිතිකරුවන් කිහිප දෙනා හා පිතිකරණයේ යෙදෙමින් වසර හයකට පසු පළමු වතාවට ශ්‍රී ලංකාවේ නවවැනි හා දසවැනි කඩුලු සඳහා ලකුණු 40ට වඩා වැඩි සබඳතා ගොඩගැනීමට දිමුත් සමත් විය.

“ප්‍රධානතම අරමුණ වුනේ මම වේගපන්දු යවන්නට මුහුණ දීලා, සුරංග හා සඳකැන් දඟපන්දු යවන්නට මුහුණ දෙන එක, ඔවුන් දෙදෙනාම හොඳින් ක්‍රීඩා කළා, අපි දැනන් හිටියා මේ උෂ්ණ කාලගුණයත් එක්ක ඔවුන් වෙහෙසට පත්වේවි කියලා, ඒ අනුව ඔවුන් පන්දු යවන්න යවන්න අපිට ලකුණු රැස් කරන්නට තිබෙන අවස්ථා වැඩි වුනා.”

දිමුත් පසු පාදයේ ක්‍රීඩා කරමින් දඟපන්දු යවන්නට මෙන්ම වේගපන්දු යවන්නට ද ඉතා හොඳින් ලකුණු රැස් කළ අතර දිනයේ අවසාන භාගයේ සුළු සුළු ආබාධ (cramps) ඇති වුනත් කඩුල්ලෙන් ඉවතට පැමිණි ඔහු ඩෙල් ස්ටේන්ගේ පන්දුවලට සිත්සේ පහර දුන්නේ ඩේල් ස්ටේන්ව නවක පන්දු යවන්නෙක්ගේ මට්ටමට ඇද දමමිනි.   

රොෂේන් සිල්වා නිජබිමේ සිය මංගල ජාත්‍යන්තර තරගයට සූදානමින්

රී ලංකා මැදපෙළ පිතිකරුවෙක් වන රොෂේන් සිල්වා 2017 වසරේ දෙසැම්බර් මාසයේ ..

පුල් හා හුක් පහරවල් අනගි ලෙස සාර්ථක කර ගනිමින් ලකුණු 29ක් තමන්ගේ නමට එක් කර ගත් දිමුත් දකුණු අප්‍රිකාවේ කෙටි පන්දු එල්ල කිරීමේ උපක්‍රමය සාර්ථකව ව්‍යර්ථ කළේය.

“මට ඩේල් ස්ටේන් එවූ බවුන්සර් පන්දුව අතහරින්න ඕනේ වුනේ, නමුත් අත්වැරදීමකින් පන්දුව හොඳින් පිත්ත සමඟ ගැටුණා, මම බංගලාදේශයේ ක්‍රීඩා කරද්දී මම පන්දු යවන්නන් ආක්‍රමණය කළා, මම හිතන්නේ ඒ නිසා තමයි මේ ආක්‍රමණශීලී බව ලැබුණේ, මම ඊළඟ වතාවේ ඉතා පරිස්සමින් ඔහුගේ කෙටි පන්දු නිදැල්ලේ යන්න හරිනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<