“දිමුත්ගේ පිතිකරණ රටාව අධ්‍යනය කරන්න වටිනවා” – තිරිමාන්න

330
Thirimanna

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (01) ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුණු ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය නිසාවෙන් කඩුලු 10කින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු විය.

ශ්‍රී ලංකාවට දරා ගත නොහැකි පරාජයක්

නවසීලන්තයේ ආරම්භක පිතිකරුවන් වූ මාටින් ගප්ටිල් සහ කොලින් මුන්රෝගේ හිත් පිත් නැති ඉනිම් හමුවේ අසරණ වූ…

මැට් හෙන්රි හා ලුකී ෆර්ගසන් ඇතුළු වේගපන්දු යවන්නන් ඉතාමත් දක්ෂ ලෙස පන්දු යැවූවේ කාර්ඩිෆ් තණතීරුවෙන් ද ලැබුණු සහාය උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් වන අතර එහි අවසන් ප්‍රතිඵලය වූයේ පන්දුවාර 29කුත් පන්දු 4ක් අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 136කට සීමා වීමයි.

තරගයේ දෙවැනි පන්දුවේ දී මැට් හෙන්රි එවූ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යාමට ලහිරු තිරිමාන්නට සිදු වූ අතර ඔහුට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 4ක් පමණයි.

“අපි මේ වගේ තත්වයකට වැටුණ එක ගැන හරිම කනගාටුයි. මේ තරගයේ දී අපේ පිතිකරුවන් ක්‍රීඩා කළ විදිහ ගොඩක් දුර්වලයි.” යැයි ශ්‍රී ලංකා වමත් ආරම්භක පිතිකරුවෙක් වන තිරිමාන්න සිය අදහස් දැක්වීම ආරම්භ කරමින් පැවසුවා.

“අපිට පහසුවෙන්ම අවම වශයෙන් ලකුණු 250 සීමාවට යන්න තිබුණා. එහෙම ගියා නම් නවසීලන්තයට හොඳ තරගයක් දෙන්න පුළුවන් කමක් තිබෙන්න තිබුණා. නමුත් අවාසනාවට අපේ පිතිකරුවන් ඒ සඳහා සටන් කළේ නැහැ.”

වැඩිදුරටත් අදහස් දැක්වූ තිරිමාන්න,

“අපිට මේ ක්‍රීඩාංගණයේ දීම තවත් තරගයක් පැවැත්වෙනවා. මම හිතනවා ඒ තරගයේ සැලසුම් හදන්න මේ තරගයෙන් අපි ලබාගත්තු දේවල් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. අපි මේ වගේ තණතීරුවල ක්‍රීඩා කරන්න හොඳින් හැඩගැසෙන්නෙත් ඕන.”

තිරිමාන්න දැවී ගිය පසුව ශ්‍රී ලංකා ඉනිමේ අවසානය දක්වා නායක දිමුත් කරුණාරත්න දැඩි වගකීමක් සහිතව පිතිකරණයේ නිරත වූයේ  ඉනිම අවසන් වෙන තුරුම කඩුල්ලේ රැඳී සිටිමිනි. ඔහු ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා ගත්තා.

එය ක්‍රිකට් ලෝක වාර්තා පොත් අතර සටහන් වූයේ ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භක පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිස ඉනිම අවසානයේ දී නොදැවී රැඳී සිටි පිතිකරුවන් අතර දෙවැනි තැන හිමිකර ගනිමිනි. එම දක්ෂතාවය මීට පෙර කළ පළමු ක්‍රීඩකයා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක රිඩ්ලි ජාකෝබ් ය. ඔහු 1999 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 49ක් ලබා ගනිමින් මේ දක්ෂතාව වාර්තා කර ගෙන තිබෙනවා.

විශේෂයෙන්ම දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටිය සඳහා අවතීර්ණ වන්නේ වසර 4ක පමණ දිගු නිහැඬියාවකින් පසුව වුවත් ශ්‍රී ලංකා අනෙකුත් පිතිකරුවන්ට සාපේක්ෂව පැහැදිලි ප්‍රගතියක් ඔහු විසින් ලබාගෙන තිබෙන බව ලෝකයා ඉදිරියේ පෙන්නුම් කිරීමට කරුණාරත්නට හැකි විය.

වයස අවුරුදු 29ක් වන ලහිරු තිරිමාන්න ද ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට පැමිණෙන්නේ වසර දෙකකට පමණ පසුවයි. නමුත් ඔහු ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට පැමිණීම සාධාරණීකරණය කිරීම වෙනුවෙන් ලෝක කුසලානය ආරම්භ වීමට පෙර ඕස්ට්‍රේලියාව සමඟ පැවති පුහුණු තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේය.

“දිමුත්ගේ පිතිකරණ රටාව අධ්‍යනය කරන්න වටිනවා. ඔහුගේ පිතිකරණය ඉතාමත් හොඳයි. ආරම්භක පිතිකරුවෙක් ලෙස ඉනිම අවසන් වන තෙක් කඩුල්ලේ රැඳී ඉන්නවා කියන්නෙත් ලේසි වැඩක් නෙමේ. මම දන්නවා මේ වගේ තණතීරුවක එවැනි ආකාරයේ දස්කමකට තිබෙන වටිනාකම ගැන.” යැයි නායක දිමුත්ගේ ආරම්භක පිතිකරණ සහායක වන තිරිමාන්න පැවසුවා.

වට්මෝර්ගේ නමට ලියවුණු අමුතු වාර්තාව

ඩේව් වට්මෝර් 1996 ලෝක කුසලානය දිනා ගැනීම දක්වා…

“අපි දන්නවා නවසීලන්තය කියන්නේ දැනට ලොව එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල අංක 2 ඉන්න කණ්ඩායම. ලොව හොඳම වේගපන්දු යවන බලඇණියක් ඔවුන්ටත් තියෙනවා. මේ වගේ දේශගුණික තත්ත්ව වල ක්‍රීඩා කරන්න ඕන කොහොමද කියන එකත් ඒ ගොල්ලන්ගේ ඇඟේ තියෙනවා. මම හිතන්නේ මේක අපේ දවස නෙමේ කියලයි. හැබැයි එහෙම කියලා අපිට බැහැ හැමතිස්සෙම ඔලුව පහත් කරගෙන පිටියෙන් ඉවත් වෙන්න. අපි ශක්තිමත්ව පිතිකරණයේ නිරත වෙලා හොඳින් ක්‍රීඩා කරලා ඉක්මනින්ම ඉදිරියට එන්න ඕන.” යැයි තිරිමාන්න මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අවසන් ලෙස පවසා සිටියා.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය මේ මස 4 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟින් ඊයේ (01) තරගය පැවැත්වුණු වේල්සයේ කාර්ඩිෆ් හිදීම පැවැත්වීමට නියමිත ය.  

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන

  • ජුනි 1  – නවසීලන්තය – කාර්ඩිෆ්
  • ජුනි 4  – ඇෆ්ගනිස්තානය – කාර්ඩිෆ්
  • ජුනි 7  – පාකිස්තානය – බ්‍රිස්ටල්
  • ජුනි 11  – බංග්ලාදේශය – බ්‍රිස්ටල්
  • ජුනි 15  – ඕස්ට්‍රේලියාව – ඕවල්
  • ජුනි 21 – එංගලන්තය – ලීඩ්ස්
  • ජුනි 28 – දකුණු අප්‍රිකාව – චෙස්ටර් ලී ස්ට්රීට්
  • ජූලි 1  – බටහිර ඉන්දීය කොදෙව් – චෙස්ටර් ලී ස්ට්රීට්
  • ජූලි 6  – ඉන්දියාව – ලීඩ්ස්

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<