ඩිල්ෂාන්ගේ ගෝල ත්‍රිත්වය ඕල්ඩ් බෙන්ස් කණ්ඩායමට ජය ගෙනේ

217

FA කුසලාන පාපන්දු තරගාවලියේ 2 වන වටයේ තරගයකින් ගෝල 3-1ක ජයග්‍රහණයක් සමඟින් තුන්වන වටයට පිවිසීමට ඕල්ඩ් බෙන්ස් කණ්ඩායම සමත් විය. ඒ දිවුලපිටිය සන්ෂයින් ක්‍රීඩා සමාජය පරාජය කරමිනි. තරගය කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

ජාවා ලේන් හමුවේ කුරේ සමාජයට දැවැන්ත පරාජයක්

මොහොමඩ් අබ්දුල්ලාගේ ගෝල ත්‍රිත්වයත් සමඟින් ගෝල 06-01ක් ලෙස කුරේ ක්‍රීඩා සමාජය පරාජය කිරීමට ජාවා ලේන් ක්‍රීඩා සමාජය සමත් විය…

තරගයේ ආරම්භයේ පටන් ඕල්ඩ් බෙන්ස් කණ්ඩායම අක්‍රමණකාරී ක්‍රීඩා රටාවක් ක්‍රීඩා කල අතර පන්දුව වැඩි ප්‍රමාණයක් ප්‍රතිවාදී ප්‍රදේශයේ රඳවා ගැනීමට ඔවුන් සමත් වූහ. මෙහි දී සන්ෂයින් කණ්ඩායම මදක් අසරණ වූ සේයාවක් දක්නට ලැබුණු අතර එම අවකාශයෙන් ඕල්ඩ් බෙන්ස් කණ්ඩායම තම ආක්‍රමණය මැනවින් දියත් කරන්නට සමත් විය.

කෙසේ වෙතත් ඕල්ඩ් බෙන්ස් කණ්ඩායම ද තමන් ට ලැබුණු අවස්ථා වලින් නිසි ප්‍රයෝජනය ගන්නා බවක් පෙනෙන්නට නොතිබිණි.  ඔවුන්ගේ දුර්වල පන්දු හැසිරවීම නිසා ගෝල රැස් කරන්නට තිබූ පහසු අවස්ථා රැසක් මග හැරී ගිය අතර කණ්ඩායම් දෙකම පන්දු හැසිරවීමේ දුර්වලතා දැක්වීම හේතුවෙන් තරගය ආරම්භ වී මද වේලාවක් යන තුරු යම් උදාසීන බවක් පෙනෙන්නට තිබිණි.

28 වන මිනිත්තුවේ දී සන්ෂයින් ක්‍රීඩකයින් අතින් සිදු වූ යොමු කිරීමේ දෝෂයකින් නිසි ප්‍රයෝජනය ගත් ඕල්ඩ් බෙන්ස් ක්‍රීඩක චමෝද් ඩිල්ෂාන් විශිෂ්ට දස්කම් පාමින් ප්‍රථම ගෝලය තම කණ්ඩායමට ලබා දුන්නේය. ඉන් මද වේලාවකට පසු නැවතත් ක්‍රියාත්මක වූ ඩිල්ෂාන් Volley දස්කමක් පාමින් තරගයේ සිය දෙවන ගෝලය ලබා ගත්තේ ප්‍රතිවාදීන් දැඩි පීඩනයකට ලක් කරමිනි. එම ගෝලය තරගයේ 30 වැනි මිනිත්තුවේ දී සටහන් විය.

ප්‍රථම අර්ධය – ඕල්ඩ් බෙන්ස් 2-0 සන්ෂයින් SC

තරගයේ දෙවන භාගය ආරම්භ වීමත් සමඟ සන්ෂයින් ක්‍රීඩකයින් තරගයට අවතීර්ණ වන බවක් දක්නට ලැබුණි. නමුත් ගෝල ලබා ගැනීමට ලැබුණු පහසු අවස්ථා දෙකක් ම ඔවුන්ගේ ඉදිරි පෙල ක්‍රීඩකයන් අතින් ගිලිහී යාම නිසා තරගය සියතට ගැනීමට ඔවුන්ට ලැබුණු අවස්ථාව අපතේ ගියා වැනි යැයි කීම නිවැරදි ය. සන්ෂයින් කණ්ඩායමේ අපරීක්ෂාකාරී ක්‍රීඩා රටාව මැනවින් අවබෝධ කර ගත් ඩිල්ෂාන් තරගයේ 67 වන මිනිත්තුවේ දී තම තුන්වන ගෝලය ද වාර්තා කලේ ය.

ඉන් පසුව ද ඕල්ඩ් බෙන්ස් කණ්ඩායම තම ප්‍රහාරය දියත් කල ද තවත් ගෝලයක් රැස් කර ගැනීමට ඔවුන්ට අවස්ථාව නොලැබිණ. කෙසේ  වෙතත් තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ දී සන්ෂයින් ක්‍රීඩක මොහොමඩ් රුෂ්ඩි ගෝලයක් වාර්තා කල ද ඒ වන විට සන්ෂයින් කණ්ඩායමේ ඉරණම තීරණය වී හමාරය.

සම්පුර්ණ කාලය – ඕල්ඩ් බෙන්ස් 3-1 සන්ෂයින් SC

ThePapare.com තරඟයේ වීරයා – චමෝද් ඩිල්ෂාන්

ගෝල ලාභීන්

  • ඕල්ඩ් බෙන්ස් SC  – චමෝද් ඩිල්ෂාන් 28′ ,30′ සහ 67′
  • සන්ෂයින් SC        – මොහොමඩ් රුෂ්ඩි 85′
2 වන වටයේ අනෙකුත් තරග ප්‍රතිඵල
  • සොලනියා SC (දෙනියාය) 3-0 ටෙක්නික් SC (හම්බන්තොට)
  • ග්‍රහලෝක SC (මාතර) 0 (1) – 0 (3) මොරටුව විශ්ව විද්‍යාලය (විශ්වවිද්‍යාල)
  • කුරුඳුවත්ත එක්සත් (ගාල්ල ) 1 (6) – 1 (5) ග්‍රීන් ෆීල්ඩ් SC (කළුතර)
  • නගර සභා SC (අම්බලන්ගොඩ) 0-5 ගෝල්ඩන් රයිස් SC (බේරුවල)
  • ජුපිටර්ස් SC (මීගමුව) 4-1 එච් ජී එස් බ්ලූ SC (කෝට්ටේ)
  • ආදි මැසනෝද් SC (වත්තල) 7-1 තොටවත්ත SC (දෙහිවල)
  • කුරේ SC (සිටි  එෆ් එල්)  3-0 කහටෝවිට JF SC (ගම්පහ)
  • නවගම්පුර SC (ප්ලේග්‍රවුන්ඩ් එෆ් එල්) 3-0 පැරමවුන්ට් SC (බියගම)
  • අල් හිරා SC (වෙන්නප්පුව) 3-0 ලකී බර්ඩ්ස් SC (පොලොන්නරුව)
  • අනුරාධපුර එක්සත් (අනුරාධපුර) 1-3 විම්බල්ඩන් SC (පුත්තලම)
  • ඊස්වරන් SC (වවුනියාව) 3-0 ෆ්‍රීඩම් SC (හලාවත)
  • සෙරන්ඩිබ් SC (මාවනැල්ල) 2 (6) – 2 (5) රෙඩ් සන් SC (ගම්පොල)
  • ලියෝ SC (කුරුණෑගල) 5-1 බී එම් යූත් SC (පොල්ගහවෙල)
  • මැන්චෙස්ටර් SC (මහනුවර) 1-4 මායා SC (කෑගල්ල)
  • ගෝල්ඩ් මූන් SC (මාතලේ) 3-0 අල් අදාන් SC (බදුල්ල)
  • යන්ග් බර්ඩ්ස් SC (නුවර එළිය) 1-0 යන්ග් මේරියන්ස් SC (නාවලපිටිය)
  • පිලිප් ගුණවර්ධන SC (සීතාවක) 3-0 මැදගම SC (මොනරාගල)
  • යූත් SC (කතරගම) 0-3 නගර සභා කණ්ඩායම (රත්නපුර)
  • වලව SC (ඇඹිලිපිටිය) 2-5 ලිබර්ටි SC (බණ්ඩාරවෙල)
  • ශා. සේවියර් SC (මඩු මන්තෙයි) 3-0 ඉක්බාල් SC (කුච්චවේලි)
  • වින්මීන්ගල් SC (පේදුරු තුඩුව) 0-3 කුරින්චිකාලුම් SC (වලිකාමම්)
  • යන්ග් බර්ඩ්ස් (මුලතිව්) 3-0 ඩයමන්ඩ්ස් SC (වඩමාරච්චි)
  • වානවිල් SC (කල්කුඩා ) 0-10 ඔලිම්පික් SC (අම්පාර)
  • රිලයන්ස් SC (මුතූර්) 3-0 පයනියර් SC (කින්නියා)
  • නැෂනල් SC (කාතන්කුඩි) 3-0 යන්ග් ලයන්ස් (ඔඩ්ඩමාවඩි)
  • ජෙගමීට්පාර් SC (කිලිනොච්චිය) 0-1 බන්ධනාගාර දෙපාර්තමේන්තුව (කැළණිය)
  • ජෝසප් වාස් (මන්නාරම ) 1-2 SLTB SC (NSSA)
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට <<