ප්‍රභාත් ජයසූරිය ගාලු ක්‍රීඩකයන්ව සසල කරයි

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

276

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පස්වන සතියේ ආරම්භක දිනය වූ අද (24) දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්වීමට කොළඹ කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය සමත් වුනා.

ඔහු ගාල්ල කණ්ඩායමට එරෙහිව පන්දුවාර 26ක් යවමින් නිලකුණු පන්දුවාර 4ක් ද සමඟින් ලකුණු 111කට කඩුලු 6ක් දවා ගත්තා. ප්‍රභාත් ජයසූරිය මෙම තරගාවලියේ දී කඩුලු 6ක් බැගින් වාර්තා කළ දෙවැනි අවස්ථාවයි මේ. ඔහු මීට පෙර යාපනය කණ්ඩායමට එරෙහිව ඔවුන්ගේ පළමු ඉනිමේ දී ලකුණු 169කට කඩුලු 6ක් දවා ගත්තා.

ගාල්ල සහ කොළඹ

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 267ක් රැස් කරගත්තා.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු සංගීත් කුරේ සහ මැදපෙළ පිතිකරු ප්‍රියමාල් පෙරේරා අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනුනා. ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 82ක්. එය ඉනිමේ ඉහළම ලකුණු සබඳතාව වුනා. එහි දී පබසර වඩුගේ පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් වාර්තා කරගත්තා.

සංගීත් කුරේ පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 51ක් රැස් කරගත්තා.

ප්‍රියමාල් පෙරේරා පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 51ක් වාර්තා කරගන්නා විට කවිශ්ක අංජුල ද ලකුණු අතර සිටිමින් පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් රැස් කරගත්තා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරියට අමතරව අශේන් බණ්ඩාර ලකුණු 4කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයන් පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 110ක් රැස් කරගෙන සිටියා.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු නිපුන් ධනංජය පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් රැස් කරගත් අතර අශේන් බණ්ඩාර පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35ක් රැස් කරගත්තා.

දිනය අවසන් වන විට ප්‍රභාත් ජයසුරිය (2*) නොදැවී පිටියේ රැඳී සිටියා.

පන්දු යැවීමේ දී අකිල ධනංජය ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත් අතර චානක රුවන්සිරි කඩුලු 2ක් ද සුමින්ද ලක්ෂාන් එක් කඩුල්ලක් ද දවා ගත්තා.

ගාල්ල – පළමු ඉනිම සියලු දෙනා දැවී 267 (61.3): සංගීත් කුරේ 51, පබසර වඩුගේ 42, ධනංජය ලක්ෂාන් 24, ප්‍රියමාල් පෙරේරා 51, කවිෂ්ක අංජුල 33, ප්‍රභාත් ජයසූරිය 6/111, අශේන් බණ්ඩාර 2/04.

කොළඹ – පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට) කඩුලු 6ක් දැවී 110 (25.2): නිපුන් දනංජය 25, අශේන් බණ්ඩාර 35, චානක රුවන්සිරි 2/40, අකිල ධනංජය 3/28.  

දඹුල්ල සහ යාපනය

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් යාපනය ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයන් පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 159ක් රැස් කරගෙන සිටියා.

එම ඉනිම වෙනුවෙන් ද මේ වන විට අර්ධ ශතක දෙකක් වාර්තා වීම කැපී පෙනුනා.

ලසිත් අබේරත්න පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 60ක් වාර්තා කරගෙන සිටි අතර පන්දු 98කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 52ක් රැස් කරගැනීමට නායක මිනෝද් භානුක සමත් වුනා.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට සබඳතාව නොදැවුනු ලකුණු 95ක්.

දැවී ගිය කඩුලු 2 හිමිකාරිත්වය යාපනය කණ්ඩායමේ ආරම්භක වේගපන්දු යැවූ නුවන් ප්‍රදීප් සතු වුනා. ඔහු ඒ වෙනුවෙන් ප්‍රතිවාදීන්ට දී තිබුණේ ලකුණු 38ක් පමණයි.

තරගයේ අද දිනයේ පන්දුවාර 90ක් යැවිය යුතු වූවත් පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිනය අවසන් වන විට ක්‍රියාත්මකව තිබුණේ පන්දුවාර 50ක් පමණයි.

දඹුල්ල – පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට) කඩුලු 2ක් දැවී 159 (50): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 24, ලසිත් අබේරත්න නොදැවී 60, මිනෝද් භානුක නොදැවී 52, නුවන් ප්‍රදීප් 2/38.

මෙම තරග දෙකම හෙට (25) දෙවැනි දිනයට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<