චමරිගේ වේගය ශ්‍රී ලංකාවට ජයගෙන එයි

551
SLvBAN

ආසියානු ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන අවසන් තරඟය අද (03) බැංකොක් නුවර ආසියානු තාක්ෂණික ආයතන ක්‍රීඩාංගණයේදී බංගලාදේශ කාන්තා කණ්ඩායමට එදිරිව පැවැත්විණි. මෙම තරඟයෙන් කඩුලු 07ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකාවට අවසන් තරඟය මඟ හැරෙන ලකුණු

කාසියේ වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කල අතර, බංගලාදේශ කාන්තා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනියන් ලෙස පිටියට පැමිණි සන්ජිඩා ඉස්ලාම් හා ශමිමා සුල්ටනා සුපිරි ආරම්භයක් තම කණ්ඩායම වෙනුවෙන් ලබාදෙමින් ලකුණු 43ක ආරම්භක සබඳතාවයක් ගොඩනංවන ලදි. එම සබඳතාවය අවසන් කිරීමට ක්‍රියාත්මක වූ චමරි ජයංගනී පළමු කඩුල්ල ලෙස එක් 4 පහරක් සමගින් ලකුණු 17ක් ලබා සිටි ශමිමා සුල්ටනා ලකුණු 17කට තමා වෙතම ඇදී ආ පන්දුව රැකගෙන දවා ගන්නා ලදි.

දෙවන කඩුල්ල සඳහා ලකුණු 28ක සබඳතාවයක් ගොඩනැංවීමට ශයිලා ශර්මින් හා සන්ජිඩා ඉස්ලාම් සමත් විය. දෙවන කඩුල්ල ලෙස 4 පහර 3ක් සමගින් තරමක වේගවත් ඉණිමක් දියත් කරමින් ලකුණු 35ක් ලබාගෙන ඉණිමේ වැඩිම ලකුණු ලාභිනියා වූ, සන්ජිඩා ඉස්ලාම් ලකුණු 35කට දවාගැනීම චමරි ජයංගනී සමත් විය. ඉණිම අවසන් වන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටි ශයිලා ශර්මින් 4 පහර 2ක් සමඟ ලකුණු 25*ක් ලබා ගන්නා ලදි.

චමරි ජයංගනී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 24ක් තුල කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 94ක පහසු ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකරණ සබඳතාවය ලකුණු 19කට සීමා කරමින් නිපුනි හංසිකා එක් 4 පහරක් සමඟ ලකුණු 10ක් ලබා සිටියදී දැවීයන ලදි.

දෙවන කඩුල්ල සඳහා පිටියේ එක්වූ යශෝධා මෙන්ඩිස් හා චමරි ජයංගනී ලකුණු 58ක හොඳ සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණයේ මාවත වෙත ගෙන ආ අතර, යශෝධා මෙන්ඩිස් 4 පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියදී දුවද්දී දැවීයාමකට හසුවිය.

තම තුන් ඉරියව් දස්කම් දක්වමින් ක්‍රීඩා කල චමරි ජයංගනී වේගවත් ප්‍රහාර දියත් කරමින් පන්දු 25කදී 4 පහර 3ක් හා මනරම් 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 39ක් ලබා ගත් අතර, එවැනි ලකුණු වේගයක් නොතිබුණා නම් තරගයේ ප්‍රතිඵලය වෙනස් වීමටද තිබුණි. අවසානයේ කඩුල්ලේ රැදී සිටි ඩිලානි සුරංගිකා හා නායිකා මදුශිකා පෙරේරා යන දෙපලම එක් 4 පහරක් සමඟ නොදැවී ලකුණු 9* බැගින් ලබා ගන්නා ලදි.

බංගලාදේශ කාන්තා කණ්ඩායම93/03 (20): සන්ජිඩා ඉස්ලාම් 35, ශයිලා ශර්මින් 25*, ශමිමා සුල්ටනා 17, චමරි ජයංගනී 2/24, ශ්‍රීපාලි වීරක්කොඩි 1/23

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම97/03 (19): චමරි ජයංගනී 39, යශෝධා මෙන්ඩිස් 24,  රුමානා අහමඩ් 2/07

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 07ක ජයග්‍රහණයක්

ඒ අනුව මෙම තරගාවලියේ අවසන් මහා තරඟය හෙට මෙම ක්‍රීඩා පිටියේදී ම ඉන්දීය කාන්තා කණ්ඩායම හා පාකිස්තානු කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට