පැතුම් නිස්සංකගෙන් ලොකු පිම්මක්

ICC විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්

5972

ICC නවතම විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 9 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක සමත් වී තිබෙනවා.

මෑත ඉතිහාසය තුල ශ්‍රී ලංකා පිතිකරුවෙක් මෙහි පළමු ස්ථානයන් 10 අතරට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර නිස්සංකගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දැනට ලබාගෙන තිබෙන හොඳම ශ්‍රේණිගත කිරීමේ ස්ථානය ද මෙයයි.

එහි පළමු ස්ථානය හිමිව තිබෙන්නේ පාකිස්තානයේ Babar Azam හටයි. ඔහු ප්‍රසාද ලකුණු 805ක් දිනාගෙන එහි රැඳී සිටින අතර පාකිස්තානයේ Mohammad Rizwan (ප්‍රසාද ලකුණු 798) සහ දකුණු අප්‍රිකාවේ Aiden Markram (ප්‍රසාද ලකුණු 796) පිළිවෙළින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැඳී සිටිනවා.

ඉන්දියාවට එරෙහිව පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 15 වැනි ස්ථානය දිනාගෙන සිටි නිස්සංක ඉන්දීය තරග සංචාරයේ ඉනිම් 3ක දී ලකුණු 76ක් ලබා ගැනීමට සමත් වුනේ එක් අර්ධ ශතකයක් ද සමඟිනුයි.

ලොව දැනට අංක 1 විස්සයි විස්ස කණ්ඩායම වන ඉන්දියාවට එරෙහිව නිස්සංක දැක්වූ එම දක්ෂතාවය නිසා 15 වැනි ස්ථානයේ සිට ශ්‍රේණිගත කිරීම් ස්ථාන 6ක් ඉදිරියට පැමිණ 9 වැනි ස්ථානය දිනා ගැනීමට ඔහුට හැකිව තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<