බිග් බෑෂ් ක්‍රිකට්‌ තරගාවලිය සංගක්‌කාර හෝබාට්‌ හොරිකන්ස්‌ සමග ගිවිසුමකට

136

ලොව ක්‍රියාත්මක විස්‌සයි/20 තරඟාවලි අතුරින් ප්‍රධාන ස්‌ථානයක්‌ ගනු ලබන බිග් බෑෂ් විස්‌සයි/20 ක්‍රිකට්‌ තරගාවලියේ 2015-16 තරග මාලාව සඳහා හොබාර්ට්‌ හොරිකන්ස්‌ පිලට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්‌කාර කොන්ත්‍රාත්තුවකට එළැඹ තිබේ. සංගක්‌කාර සහ හෝබාර්ට්‌ හොරිකන්ස්‌ අතර කොන්ත්‍රාත්තුව වසර 2 කට බලපැවැත්වෙන පරිදි අත්සන් තබා තිබේ.

ඒ අනුව සංගක්‌කාර හෝබාර්ට්‌ හොරිකන්ස්‌ පිලේ දෙවැනි විදේශ ක්‍රීඩකයා වන අතර ඔහුට ප්‍රථම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩැරන් සමී හෝබාර්ට්‌ කණ්‌ඩායමේ විදේශික ක්‍රීඩකයා බවට පත්ව සිටියි.

”සංගක්‌කාර මේ තරගාවලියේදී අපේ පිලට ක්‍රීඩා කිරීම වැදගත් වන්නේ අපිට පමණක්‌ නොවෙයි. එය මේ තරගාවලියටම සුවිශේෂී වෙනවා” යනුවෙන් පවසන හොරිකන්ස්‌ හි පුහුණුකරු ඩේමියන් රයිට්‌, ”මෙවර පැවැත්වෙන තරගාවලිය ඉතාමත් පුදුමය දනවන තරගාවලියක්‌ වනවාට කිසිදු සැකයක්‌ නැහැ” යි සඳහන් කර තිබේ.

අවසන් වුණු ලෝක කුසලාන තරගාවලියෙන් පසු සංගක්‌කාර එක්‌දින තරග අංශයෙන් සමුගනු ලැබූ නමුත් ටෙස්‌ට්‌ තරග අංශයෙන් තවත් තරගාවලි කිහිපයක්‌ ක්‍රීඩා කිරීමේ අරමුණින් හෙතෙම පසුවේ. ටෙස්‌ට්‌ තරග 130 කට දායක්‌තවය දක්‌වා ඇති සංගක්‌කාර එක්‌දින තරග 404 ක්‌ සහ විස්‌සයි/20 තරග 56 ක්‌ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.