ඕෂඳ තරගාවලියේ මංගල ශතකය වාර්තා කරයි

Dialog – SLC National Super League Limited Over Tournament 2022

1690

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Dialog – SLC National Super League ක්‍රිකට් තරගාවලියේ මංගල ශතකය වාර්තා කිරීමට මහනුවර කණ්ඩායමේ ඕෂඳ ප්‍රනාන්දු අද (30) සමත් වුනා. මේ දක්වා තරගාවලියේ දින 3ක තරග 6ක් අවසන්ව තිබූ අතර මෙම තරගය 7 වැනි තරගය ලෙසින් ක්‍රියාත්මක වූවා.

අද පැවති තරගවල දී දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 155ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් වූ අතර ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 88ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට යාපනය කණ්ඩායම සමත් වුනා.

මෙම ජයග්‍රහණත් සමඟ ඔවුන් තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන දෙකට පිවිසීම කැපී පෙනුනා. ඒ අනුව යාපනය පළමු ස්ථානයටත්, මහනුවර දෙවැනි ස්ථානයටත් පත්ව සිටියා.

මහනුවර සහ දඹුල්ල අතර තරගය

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන් කඩුලු 9ක් දැවී ලකුණු 318ක් රැස් කරගත්තා. එය මෙම තරගාවලියේ කණ්ඩායමක් මෙතෙක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වුනා.

ඊට පිළිතුරු ලෙසින් දඹුලු ක්‍රීඩකයන්ට සියලුම දෙනා දැවී වාර්තා කරගත හැකි වූයේ ලකුණු 163ක් පමණයි.

මහනුවර කණ්ඩායමේ 29 හැවිරිදි ඉදිරි පෙළ දකුණත් පිතිකරු ඕෂඳ ප්‍රනාන්දු තමන් මුහුණ දුන් 119 වැනි පන්දුවේ දී ශතකයක් වාර්තා කරගනිමින් තරගාවලියේ මංගල ශතකය වාර්තා කිරීමේ ගෞරවය දිනා ගත්තා. ඔහු දැවී යන විට පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 138ක් රැස් කරගෙන සිටියා.

ඊට අමතරව නායක කමිඳු මෙන්ඩිස් පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් වාර්තා කරගත්තා. ඕෂඳ සහ කමිඳු අතර සිව්වැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 112ක්.

පන්දු යැවීමේ දී ආරම්භක වේගපන්දු යැවූ ලහිරු සමරකෝන් ලකුණු 87කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක අශාන් ප්‍රියන්ජන්. ඔහු පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් රැස් කරගත්තා.

එම ඉනිම පාලනය කිරීමේ දී පුලින තරංග ලකුණු 39කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතරව අසිත ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

ලකුණු පුවරුව:

මහනුවර කණ්ඩායම – කඩුලු 9ක් දැවී 318 (50): ලසිත් කෲස්පුල්ලේ 32, ඕෂඳ ප්‍රනාන්දු 138, කමිඳු මෙන්ඩිස් 43, සහන් ආරච්චිගේ 28, ලහිරු සමරකෝන් 4/87, දුවිඳු තිලකරත්න 2/40.

දඹුල්ල කණ්ඩායම – සියලුම දෙනා දැවී 163 (42.1): ගයාන් මනීශාන් 21, අශාන් ප්‍රියංජන් 50, අනුක් ප්‍රනාන්දු 26, අසිත ප්‍රනාන්දු 2/16, පුලින තරංග 3/39, කමිඳු මෙන්ඩිස් 2/35.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:

යාපනය සහ ගාල්ල අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් කාසියේ වාසිය දිනාගත් ගාල්ල ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසියේ යාපනය කණ්ඩායමයි. එම කණ්ඩායම වෙනුවෙන් අද පළමු වරට List A වරම් දිනා ගැනීමට Jaffna Kings කණ්ඩායම ද නියෝජනය කළ 20 හැවිරිදි විජයකාන්ත් වියස්කාන්ත් සමත් වුනා.

යාපනය ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලකුණු 263ක් රැස් කරගත්තේ නායක ධනංජය ද සිල්වාගේ සහ සංතුශ් ගුණතිලකගේ අර්ධ ශතකත් සමඟින්. ධනංජය පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 55ක් වාර්තා කරගත්තා.

සංතුශ් පන්දු 110කින් ලකුණු 57ක් රැස් කරගත්තේ තම ඉනිමට හතරේ පහක් පමණක් ඇතුළත් කර ගනිමින්. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 60ක්. නිමන්ද මධුශංක පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් වාර්තා කරගත්තා.

පන්දු යැවීමේ දී ධනංජය ලක්ෂාන් සහ මුදිත ලක්ෂාන් කඩුලු 3 බැගින් බෙදාගත් අතර හේෂාන් හෙට්ටිආරච්චි කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ගාල්ල ඉනිම ලකුණු 175කට සීමා කිරීමට යාපනය ක්‍රීඩකයන් සමත් වුනා. ඒ තවත් පන්දු 82ක් ඉතිරිව තිබිය දීයි.

ගාලු ඉනිමේ දී ආරම්භක කඩුල්ල වෙනුවෙන් ධනංජය ලක්ෂාන් (34) සහ පබසර වඩුගේ (24) එක්ව ලකුණු 58ක් රැස් කළ ද ඒ හා සමඟම තවත් කඩුලු 2ක් දවා ගැනීමට යාපනය ක්‍රීඩකයන් සමත් වීම හේතුවෙන් ඔවුන්ගේ ගමන මදක් අඩාල වුනා.

කෙසේ වෙතත් පසු පෙළින් පිටියට පිවිසි ජෙහාන් ඩැනියෙල් පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් රැස් කරගනිමින් තම කණ්ඩායම ලැබූ පරාජයේ ලකුණු පරතරය අඩු කරගත්තා.

පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා ලකුණු 27කට කඩුලු 4ක් දවා ගනිමින් ජයග්‍රහණයේ ද නියමුවා වුනා. ඊට අමතරව ඉෂාන් ජයරත්න ද කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු පුවරුව:

යාපනය කණ්ඩායම – සියලුම දෙනා දැවී 263 (49.5): සදීර සමරවික්‍රම 33, ධනංජය ද සිල්වා 55, සංතුශ් ගුණතිලක 57, නිමන්ද මධුශංක 35, ඉෂාන් ජයරත්න 31, රවිඳු ප්‍රනාන්දු 24, හේෂාන් හෙට්ටිආරච්චි 2/36, ධනංජය ලක්ෂාන් 3/37, මුදිත ලක්ෂාන් 3/44.

ගාල්ල කණ්ඩායම – සියලුම දෙනා දැවී 175 (36.2): ධනංජය ලක්ෂාන් 34, පබසර වඩුගේ 24, හිමාෂ ලියනගේ 21, දුශාන් විමුක්ති 21, ජෙහාන් ඩැනියෙල් 36, ඉෂාන් ජයරත්න 2/27, ධනංජය ද සිල්වා 4/27.

තරගාවලියේ මීළඟ තරග පෙබරවාරි 01 වැනිදාට යෙදී ඇත. ඒ අනුව ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අතර තරගය කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ද කොළඹ සහ යාපනය කණ්ඩායම් අතර තරගය කොළඹ එස්. එස්. සී. පිටියේ දී ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThaPapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<