ගුවන් හමුදාව නව බලාපොරොත්තු සමඟින් ඉගිළෙන්නට සැරසේ

1099

ඩයලෝග් අන්තර් සමාජ රග්බි ලීගයේ ප්‍රබල කණ්ඩායම් රැසක් භීතියට පත් කරන්නට ගුවන් හමුදාව රග්බි කණ්ඩායමට හැකි වුනත් පසුගිය වසර නම් ඔවුන්ට එතරම් සුබදායක වූයේ නැත. කෙසේ වෙතත් 2016-17 තරග වාරයේ දී ඔවුන් නොසිතූ ලෙස මහනුවර ක්‍රීඩා සමාජය පරාජය කළේ ඔවුන් අවතක්සේරු නොකළ යුතු කණ්ඩායමක් බව මනාව පසක් කරමිනි.

දෙවන ස්ථානයෙන් ඉහළට යන්නට නාවිකයින්ට හැකි වෙයි ද?

2018-19 ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ආරම්භයට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි…

ඉතිහාසයෙන් බිඳක්

1961 දී අන්තර් සමාජ රග්බි පිටියට පිවිසුණු ඔවුන් A කාණ්ඩයට සුදුසුකම් ලබන්නේ 1972 වසරේ දී ය. එතැන් පටන් පළමු කණ්ඩායම් අට තුළ දිගින් දිගටම රැඳී සිටිමින් ඔවුන් සිය වේගවත් ක්‍රීඩා රටාව හා ප්‍රතිවාදීන්ගේ වැරදිවලින් ඉක්මන් ප්‍රයෝජන ගෙන ලකුණු රැස් කිරීම වෙනුවෙන් නමක් දිනා ගැනීමට සමත් විය. මෑත කාලයේ දී ඔවුන් ප්‍රධාන තරගාවලියක් ජය ගැනීමට අසමත් වුනත් ප්‍රබල කණ්ඩායම්වලට ඔවුන් හොඳ අභියෝගයක් එල්ල කිරීමට සමත් විය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ සිට ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ජාතික සංචිතයට පියාසර කළ අතර අරුණ ශාන්ත වැනි ප්‍රබල ක්‍රීඩකයින් ද ඒ අතර වේ.

පසුගිය තරග වාරය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පසුගිය තරග වාරය අවසන් කළේ අවසාන ස්ථානයෙනි. සහභාගී වූ තරග දාහතරෙන් ඔවුන් තරග දෙකක් පමණක් ජය ගැනීමට සමත් වූ අතර අනෙක් තරග දොළහම ඔවුන් පරාජයට පත්විය.

මෙවර තරගාවලිය සඳහා සූදානම

ලහිරු  කුමාර හට මෙවර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම භාර වී ඇති අතර සමබර කණ්ඩායමක් සමඟ සාර්ථක තරගාවලියක් ක්‍රීඩා කිරීමේ අරමුණින් කණ්ඩායම පුහුණුවීම් වල යෙදෙන බව ලහිරු කුමාර ThePapare.com වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මෙවර තරගාවලියේ පළමු කණ්ඩායම් හතරට ඇතුළු වීම ඔවුන්ගේ ප්‍රධානතම අරමුණක් වන අතර පෙර තරග වාරයක ගුවන් හමුදා කණ්ඩායමේ නායකත්වය ද දරා සිටින FLY HALF ක්‍රීඩක ගයන්ත ඉද්දමල්ගොඩට කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයෙකු ලෙස වැඩි බරක් හිමි වේ.

නායක ලහිරු කුමාරට අනගි සහයක් ලබා දෙන්නට පොලිස් ක්‍රීඩා සමාජයේ හා සාන්ත අන්තෝනි විද්‍යාලයේ ක්‍රීඩා කළ ඉදිරිපෙළ ක්‍රීඩක චාල්ස් ප්‍රවීන් සූදානමින් සිටින අතර වේගවත් ධාවකයින් වන ප්‍රමෝද් පද්මසංඛ හා රාම්දාස් රුමේෂ් පසුපෙළේ කොඳු නාරටිය වනු ඇත.

කණ්ඩායමේ පුහුණුකරු ධූරය ෆෙරෙටි වෙරබියුලා හට භාර වී ඇති අතර ෆීජි ජාතික ඔහුගේ අත්දැකීම් හා මගපෙන්වීම ගුවන් හමුදා කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.

පසුගිය වසරේ වැටුණු වලේ නොවැටී මෙවර ලකුණු සටහනේ පෙරමුණට පැමිණීම ගුවන් හමුදා කණ්ඩායමේ ප්‍රධානතම අරමුණ වී ඇති අතර ගුවන් හමුදා රග්බි කණ්ඩායම සිය පළමු තරගය සඳහා එළඹෙන නොවැම්බර් 10 වැනිදා රත්මලාන නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී මහනුවර ක්‍රීඩා සමාජය හමුවනු ඇත. තරගාවලියේ සියලු තොරතුරු හා සජීව විකාශ සඳහා රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<

ගුවන් හමුදා සම්පූර්ණ සංචිතයට මෙතැනින් පිවිසෙන්න


Video – PREVIEW: Air Force looking for revival DRL 2018/19