හැව්ලොක් හමුවේ යුද සෙබළුන්ගේ සිහින බිඳ වැටේ

567

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දස වැනි සති අන්තය අවසන් කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය හා යුද හමුදා ක්‍රීඩා සමාජය අද (13) හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී තරග වැදුණු අතර තියුණු සටනකින් අනතුරුව ලකුණු 27-08ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට සත්කාරක හැව්ලොක් ක්‍රීඩකයින් සමත් විය.

මහනුවර කණ්ඩායමෙන් CR කණ්ඩායමට දරුණු සත්කාරයක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 10 වැනි සති අන්තයේ තවත් තරගයක දී මහනුවර ක්‍රීඩා සමාජය හා කොළඹ CR & FC කණ්ඩායම…

හැව්ලොක් ක්‍රීඩා සමාජය පසුගිය සතියේ දී CH & FC හමුවේ ලකුණු 25-27ක් ලෙස පරාජයට පත්ව අද තරගයට අවතීර්ණ වන විට, ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ යුද හමුදා ක්‍රීඩා සමාජය ද නාවික හමුදා ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 28-10ක් ලෙස පරාජයට පත්ව තරගය සඳහා අවතීර්ණ විය.

සවස 6.30ට විදුලි ආලෝකය මධ්‍යයේ ආරම්භ වූ මෙම තරගය ආරම්භයේ දී ම යුද හමුදා ක්‍රීඩා සමාජය උත්සාහක දිනුමක් ආසන්නට ළඟා වුවත් එම උත්සාහය සාර්ථක කර ගැනීමට ඔවුන් අපොහොසත් විය. තරගයේ 7 වන මිනිත්තුවේ දී යුද හමුදා ක්‍රීඩකයින්ගේ පන්දු යොමු කිරීමක් අතරමැදින් ග්‍රහණය කර ගත් හැව්ලොක් ක්‍රීඩක අස්මින් ෆාජුඩීන් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර රීසා මුබාරක් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි (හැව්ලොක් 07-00 යුද හමුදාව).

යුද හමුදා ක්‍රීඩක සමීර බුලත්සිංහල හට විනිසුරු විසින් කහ කාඩ්පතක් ලබා දීමෙන් පසුව ද දිගින් දිගටම හැව්ලොක් කණ්ඩායමේ අභියෝග හමුවේ යුද හමුදා ක්‍රීඩකයින් හොඳ සටනක් ලබා දුන් අතර යුද හමුදාව සිදු කළ වරදක් නිසාවෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජයට දඬුවම් පහරක් හිමි විය. එය මැදි දුර පහරක් වූ අතර 18 වැනි මිනිත්තුවේ දී කිසිදු අතපසුවීමකින් තොරව සාර්ථකව ලකුණු 3ක් හැව්ලොක් වෙත දිනා දෙන්නට ෆුල් බැක් ක්‍රීඩක මුබාරක් සමත් විය (හැව්ලොක් 10-00 යුද හමුදාව).

යුද හමුදා ක්‍රීඩකයින් නැවතත් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ ක්‍රීඩා කළ ආකාරයට ක්‍රීඩා කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජයට හොඳ තරගයක් ලබා දුන් නමුත් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට ඔවුන් අපොහොසත් විය. කෙසේ නමුත් තරගයේ 25 වැනි මිනිත්තුවේ දී ඔවුන්ට ලැබුණු දඬුවම් පහරකින් යුද හමුදා ලකුණු පුවරුව ක්‍රියාත්මක වූයේ යුද හමුදා ෆුල් බැක් ක්‍රීඩක ගයාන් සාලින්දගේ උත්සාහය නිසාවෙනි (හැව්ලොක් 10-03 යුද හමුදාව).

තරගයේ 29 වැනි මිනිත්තුවේ සිට 31 වන මිනිත්තුව දක්වා කාලය ඉතාමත් උණුසුම් වූයේ යුද හමුදා ක්‍රීඩකයින්ගේ ජවය හමුවේ හැව්ලොක් ක්‍රීඩා සමාජය නොසිතූ ලෙස යම් පසුබෑමකට ලක්වූ මොහොතක යුද හමුදාව සිය ප්‍රථම උත්සාහක දිනුම සාර්ථක කරගැනීම නිසාවෙනි. අශෝක ජයලාල් ලබාගත් ඒ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාලින්දට මඟ හැරී ගියේය (හැව්ලොක් 10-08 යුද හමුදාව).

තරගයේ පළමු අර්ධය අවසන් වීමට තවත් මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී යුද හමුදා ක්‍රීඩා සමාජයට තවත් දඬුවම් පහරක් ලැබුණු අතර එය සාර්ථක කරගත්තා නම් පළමු අර්ධය අවසානයේ ඔවුන්ට පෙරමුණ ගැනීමට අවස්ථාව තිබුණි.

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 10 – 08 යුද හමුදා ක්‍රීඩා සමාජය

ඉතා උණුසුම් දෙවන අර්ධයකට මඟ විවර කරමින් හැව්ලොක් ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක් සමඟින් තරගයට පිවිසුණු අතර උත්සාහක දිනුම් අවස්ථාවන් කිහිපයක්ම සාර්ථක  කර ගැනීමට ඔවුන් වෑයම් කළ නමුත් ඒ කිසිවක් සාර්ථක නොවීය. ඒ යුද හමුදාවේ දක්ෂ ක්‍රීඩා විලාසය නිසාවෙනි.  

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවත් තරගයේ 57 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලසිඳු කරුණාතිලක සිය සඟයන්ගේ ද සහය ඇතිව උත්සාහක දිනුමක් සාර්ථක කරගත්තේය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට මුබාරක් සමත් විය  (හැව්ලොක් 17-08 යුද හමුදාව).

තරගයේ 65 වන මිනිත්තුවේ දී ෆුල් බැක් ක්‍රීඩක මුබාරක් වෙත ලැබුණු ඩ්‍රොප් ගෝල් අවස්ථාවකින් හැව්ලොක් ක්‍රීඩා සමාජය තවදුරටත් තරගයේ පෙරමුණ ගැනීමට හැකි විය (හැව්ලොක් 20-08 යුද හමුදාව).

එයින් නොනැවතුණ සත්කාරක හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් තවත් වර්ණවත් උත්සාහක දිනුමක් ලබා ගැනීමට හැව්ලොක් අංක 5 ජර්සිය දරණ චානක සිල්වා සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට මුබාරක් සමත් විය (හැව්ලොක් 27-08 යුද හමුදාව).

කෙසේ නමුත් නියමිත කාලය අවසානයේ යුද හමුදා ක්‍රීඩකයින්ගේ සියලු අපේක්ෂා බිඳ දමමින් ලකුණු 27-08ක් ලෙස තරගය ජයග්‍රහණය කළ හැව්ලොක් කණ්ඩායම මෙම සතිය ජයග්‍රාහීව නිමා කළේ ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවන ස්ථානය ජයග්‍රහණය කරමිනි.

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 27 (3T, 1DG, 3C, 1P) – 08 (1T, 1P) යුද හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: රීසා මුබාරක් (හැව්ලොක් ක්‍රීඩා සමාජය)

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්:

  • හැව්ලොක් ක්‍රීඩා සමාජය: අස්මින් ෆාජුඩීන් (1T), රීසා මුබාරක් (3C,1P,1DG), චානක සිල්වා (1T), ලසිඳු කරුණාතිලක (1T)
  • යුධ හමුදා ක්‍රීඩා සමාජය: ගයාන් සාලින්ද (1P), අශෝක ජයලාල් (1T)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට