ඩයලොග් රග්බි ලීගයේ මුල් ස්ථාන තුන හොබවන කණ්ඩායම් වලට සිය ස්ථාන තහවුරු කරගැනීම වෙනුවෙන් තවත් දිනයක් සටන් වැදීමට සිදුවී ඇති හෙයින් තරඟාවලියේ උද්වේගකර බව තවත් උත්සන්න වී තිබේ. මුල් කණ්ඩායම් දෙක සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර එක් ලකුණක පරතරයක් පමණක් පැවතීම හේතුවෙන් තරඟාවලියේ 9 වැනි සතියේදී පැවැත්වීමට නියමිත, ශූරයන් පසිඳලීමේ තරඟ මේ කණ්ඩායම් වෙත මේ වන විටත් අභියෝගයක් වෙමින් ඇත.

දිගු ඉතිහාසයක් ඇති එදිරිවාදීන් වන CR & FC සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර පැවැත්වීමට නියමිත තරඟය, ලීගය තුළ විශේෂිත තරඟයක් සේ හැඳින්විය හැකිය. තම නිජබිමෙන් පිටතදී පැවැත්වීමට නියමිත එම තරඟයේදී තමාට අත්‍යාවශ්‍ය ලකුණු කිහිපය ලබා ගැනීමට මහනුවර කණ්ඩායම උත්සුක වනු ඇත.

හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව පොලිස් ක්‍රීඩා සමාජය.

  • දිනය : 2017 ජනවාරි 06.
  • ස්ථානය : හැව්ලොක් ක්‍රීඩාංගනය.
  • වෙලාව : සවස 6.30

ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින හැව්ලොක් ක්‍රීඩා සමාජය පසුගිය සතියේදී CH & FC කණ්ඩායම සිය උත්සාහක දිනුම් වර්ෂාවෙන් තෙත් කළ අතර දක්ෂතාවයෙන් උසස් කණ්ඩායම්වලට එරෙහිව වුවද ක්‍රීඩා කිරීමට අවශ්‍ය ස්ථාවර මානසිකත්වයක පසුවෙයි. තරඟාවලියේ ඉදිරියෙන්ම පසුවන අතරවාරයේදී තම කණ්ඩායමට තවත් ලකුණු සහ ප්‍රසාද ලකුණු එක්කිරීමට ඔවුන් ඇපකැප වනු නියත ය.

පොලිස් ක්‍රීඩා සමාජය, ලීගය තුළ සිය උපරිම වැර යොදා ක්‍රීඩා කළ තරඟය ලෙස පසුගිය සතියේදී නාවික හමුදාවට එරෙහිව ක්‍රීඩා කළ තරඟය සඳහන් කළ හැකි වූවත් තරඟය නිමාවූයේ ඔවුනට පරාජය අත්කරදෙමිනි. එහිදී පොලිස් කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර ඉදිරි තරඟවලදී ඔවුන්ගෙන් දැකිය හැකිවන දක්ෂතා වර්ධනය වන බවට ඉන් ඉඟියක් ලැබිණි.

බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයින්.

රීසා රෆයිඩීන්.

සුපුරුදු වින්ග් ත්‍රී ක්වාටර් ස්ථානයේ සිට සෙන්ටර් ස්ථානය දක්වා ඉකුත් තරඟයේදී මාරුවක් ලද පාසල් ක්‍රීඩක රෆයිඩීන්, එම ස්ථානයේ ගෞරවය රැකදුන් අතර සන්දේශ් ජයවික්‍රම හා එක්ව වැඩි තරඟ කාලයක් අපේක්ෂා කරනු ඇත්තේ එම ස්ථානයන්ට අනුගත වීමටය.

උදාර ගයාන්.

ඉකුත් තරඟයේදී උත්සාහක දිනුමක්ද වාර්තා කළ ඔහු, හැව්ලොක් පෙරපෙළ ශක්තිය මකාලනු පිණිස පොලිස් කණ්ඩායමට ඉතා වැදගත් සාධකයකි.

දුලාජ් පෙරේරා.

ඉකුත් සතියේදී උත්සාහක දිනුම් දෙකක් සමඟින් ප්‍රවර්තන 10ක් සාර්ථක කරගත් හැව්ලොක් කණ්ඩායමේ දුලාජ්, තවකෙකුට ළඟාවිය නොහැකි පරතරයක් නිර්මාණය කරගනිමින් පෞද්ගලික ලකුණු සටහනේ ලකුණු 30කින් ඉදිරියට ගියේය. සිය නිජබිමේදී මීළඟ තරඟය ක්‍රීඩා කරන ඔහුට පොලිස් කණ්ඩායම අළුත් අත්දැකීමක් වනු ඇත.

දුෂ්මන්ත ප්‍රියදර්ශන.

ප්‍රසාද් මධුශාන් සහ ජේසන් මෙල්ඩර්ගේ ද සහයෙන් පොලිස් පෙරපෙළ ක්‍රීඩකයන්ව නවතාලන්නට දුෂ්මන්ත ප්‍රියදර්ශනගේ දක්ෂතා හැව්ලොක් කණ්ඩායමට වැදගත් වේ.


CR & FC කණ්ඩායමට එරෙහිව මහනුවර ක්‍රීඩා සමාජය.

  • දිනය : 2017 ජනවාරි 07.
  • ස්ථානය : ලොන්ඩන් පෙදෙස ක්‍රීඩාංගනය.
  • වෙලාව : සවස 3.50

දෙපිල අතර ප්‍රථම වටයේදී පැවති තරඟයෙන් ලකුණු 53-29ක පහසු ජයක් මහනුවර කණ්ඩායමට හිමිවූවත් මෙවර ඔවුන් ක්‍රීඩා කළ යුත්තේ මහනුවර බලකොටුවෙන් පිටතදී ය. වත්මන් ශූරයන් වන මහනුවර කණ්ඩායම සිය බලකොටුවෙන් පිටතදී දුර්වල වීමේ ඉඩකඩක් නැතුවාම නොවේ.

මේ වසරේ තරඟාවලියේදී සිය නිජබිමෙන් පිටතදී පැවති තරඟ දෙකකින් පරාජය ලබන්නට මහනුවර කණ්ඩායමට සිදුවිය. ඒ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව රත්මලානේදීත්, නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව වැලිසරදීත් පැවති තරඟ දෙකයි. ඒ දුර්වලතා මඟහරිමින් පෙරට ඇදෙන මහනුවර ක්‍රීඩකයන්ට මේ සතියේදී ලැබෙන තරඟය සැබෑම පරීක්ෂණයකි. ශූරතා තරඟය තුළ ඉඩකඩ වෙන්කරවා ගැනීම වෙනුවෙන් මහනුවර කණ්ඩායමට මෙම තරඟය අතිශය වැදගත් වන අතර CR & FC කණ්ඩායම, තරඟාවලිය සාර්ථකව නිමාකිරීම සඳහා අවශ්‍ය ලකුණු ලබා ගැනීමේ අදිටනින් පසුවෙයි.

බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයන්.

නයිජල් රත්වත්තේ.

මහනුවර කණ්ඩායමේ නිත්‍ය නායක සහ ෆ්ලයි හාෆ් ක්‍රීඩක ෆසිල් මරිජාගේ ආබාධ තත්වය හේතුවෙන් නයිජල් රත්වත්තේ වැනි ක්‍රීඩකයෙකුගෙන් මහනුවර කණ්ඩායමට ලැබෙන වටිනාකම ඉතා ඉහළ ය. ඉකුත් සතියේදී යුධ හමුදා කණ්ඩායමට එරෙහිව පැවති තරඟය ඔහුට මීළඟ තරඟ සඳහා සූදානම් වීමට ලැබුණු හොඳ අවස්ථාවකි.

හේෂාන් කල්හාර.

ආබාධයකින් සුවය ලබා නැවත පැමිණි කල්හාර, කණ්ඩායමේ මුල් පහළොස්දෙනා අතර ක්‍රීඩා කිරීමෙන් සිදුවූ වෙනස, ඉකුත් සතියේදී හොඳින් පැහැදිලි විය. පසුගිය වසරේදී CR නිජබිම තුළදී ජය ගැනීමට අවශ්‍යව තිබූ උත්සාහක දිනුම, තරඟයේ අවසන් මිනිත්තු කිහිපය තුළදී කණ්ඩායම වෙත ලබා දුන්නේ ඔහුයි.

සෂාන් මොහොමඩ්.

CR කණ්ඩායමේ අධිවේගී ධාවක සෂාන් මොහොමඩ්, සිය එදිරිවාදීන් ඉදිරියේ කුමන දස්කම් පාන්නේදැයි යන්න තරඟයේ තීරණයට බලපානු ඇත. දෙවන වටයේ පළමු තරඟය තුළදී ඔහුගෙන් හොඳ දස්කම් දිස්විය.

භානුක නානායක්කාර.

අභිබවා යෑමට අපහසු මහනුවර පසුපෙළ රේඛාව අභිබවන්නට නම් භානුක වැනි ක්‍රීඩකයෙකු තම කණ්ඩායමේ පසුපෙළින් සොයාගන්නට හැකිනම්, එය ඕනෑම කණ්ඩායමක් සතු වාසියකි. CR කණ්ඩායමට එම වාසිය නිතැතින්ම හිමිවී ඇත.


නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ගුවන් හමුදා ක්‍රීඩා සමාජය.

  • දිනය : 2017 ජනවාරි 07.
  • ස්ථානය : වැලිසර.
  • වෙලාව : සවස 4.00

ඉදිරියේදී අපහසු තරඟ කිහිපයකටම මුහුණදීමේ සූදානමින් සිටින නාවික හමුදාවට මෙම තරඟය මඳක් පහසු තරඟයක් සේ පෙනෙනු ඇත. වැලිසරදී නාවික ක්‍රීඩකයන් සෑමවිටම දක්ෂතා අතරට පැමිණ ඇති අතර එය වළකන්නට නම් ගුවන් හමුදා කණ්ඩායම තම මුළු වැර යොදා ක්‍රීඩා කළ යුතුවේ. දැනට ජයග්‍රහණ 4ක් සමඟින් ලකුණු සටහනේ 5වැනි ස්ථානය හිමිකරගෙන සිටින ගුවන් හමුදා කණ්ඩායමට ගෞරවනීය අයුරින් තරඟාවලිය අවසන් කිරීමට නම් මේ තරඟය ජයගැනීම අනිවාර්ය වේ.

බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයන්.

ධනුෂ්ක පෙරේරා.

පොලිස් කණ්ඩායමට එරෙහිව පසුගිය තරඟය ජය ගැනීම සඳහා විශාල කාර්යභාරයක් ඉටුකළ ධනුෂ්ක, අවශ්‍යව පැවති අවස්ථාවකදී උත්සාහක දිනුමක්ද වාර්තා කළේය. එම රටාවම පවත්වාගත හැකි නම් නාවිකයන්ට ඔහුගෙන් අවශ්‍ය එපමණයි.

සාලිය හඳපාන්ගොඩ.

සාලිය, පිටිය තුළ තම ආධිපත්‍ය පැතිරවීමේ පරම චේතනාවක් ඇත්තෙකි. කණ්ඩායම වෙනුවෙන් අවස්ථාවන් නිර්මාණය කිරීමෙහි ලා බුද්ධිම ප්‍රියරත්න හා එක්ව ඔහු සිදුකරන ක්‍රියාන්විතය ප්‍රශංසනීය ය.

චරිත් සෙනවිරත්න

නාවික හමුදා ඉදිරිපෙළ ක්‍රීඩකයන් මර්ධනය කරන්නට නම්, ගුවන් හමුදාවේ චරිත් සෙනවිරත්න තම ඉහල දක්ෂතා දැක්විය යුතුය.

ගුවන් හමුදා 2nd Row ක්‍රීඩක තිලිණ බණ්ඩාර, ගුවන් හමුදා කණ්ඩායමේ පරම බලාපොරොත්තුවකි. ලයින් අවුට් අවස්ථාවන් තුළ ප්‍රතිවාදීන්ට කිසිදු අවස්ථාවක් නොදෙන ඔහු, ඔහුගේ උස මැනවින් භාවිතා කරයි.


යුධ හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව CH & FC.

  • දිනය : 2017 ජනවාරි 08
  • ස්ථානය : දියගම.
  • වෙලාව : සවස 4.00

තරඟාවලියේ ප්‍රථම වරට සිය නිජබිම වන දියගම දී යුධ හමුදාව, CH & FC කණ්ඩායමට මුහුණ දෙයි. නිත්තවෙලදී කෙතරම් උත්සාහ කළද දස්කම් අතින් වැඩි මහනුවර ක්‍රීඩකයන් අතින් යුධ හමුදා ක්‍රීඩකයින් පාලනය විණි. ලකුණු දඩයමේ පසුවන යුධ හමුදා ක්‍රීඩකයන්ට CH කණ්ඩායම පහසු අභියෝගයක් විය හැක.

බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයන්.

මනෝජ් සිල්වා.

යුධ හමුදාව වෙනුවෙන් ඔහුගේ ධාවනයන් වැදගත් විය හැකි අතර ඔහු ඒ බව ප්‍රදර්ශනය කරමින් මහනුවරදී උත්සාහක දිනුමක්ද වාර්තා කළේය.

තුසිත් සේනානායක.

මහනුවරදී යම් සාර්ථකත්වයකට පත්වූ ඔහුද යුධ හමුදාවට වටිනා ක්‍රීඩකයෙකි.

විශ්ව දිනෙත්.

විශ්ව, කණ්ඩායමේ පා-පන්දු ප්‍රහාරකයා වීමෙන් අනතුරුව CH කණ්ඩායම පරාජිත තරඟවල වුවද වාර්තා කරන “සහන ලකුණු” ඔවුනට ලබාදෙන්නට ඔහු සමත් විය.

කසුන් ශ්‍රීනාත්.

කසුන්ගේ හුදකලා සටන්කාමීත්වය, දිගින් දිගටම පරාජය ලබන අතරතුර වුවද CH කණ්ඩායම සටන්කාමීව පවත්වාගන්නට ඔවුනට ඉවහල් වී තිබේ.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට