LPL හි ‘සන්නිවේදන සහකරු’ ලෙස Dialog අත්වැල් බැඳ ගනී

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

314
ඡායාරූපයේ වමේ සිට දකුණට: ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, තරුණ සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL තරගාවලියේ 2021 අදියරේ නිල සන්නිවේදන සහකරු ලෙසින් එක්වෙමින් තරගාවලිය බලගැන්වීමට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC තීරණය කර තිබෙනවා.

තරගාවලියට සහභාගී වන කණ්ඩායම් දිරිගන්වන, මෙරට ජනප්‍රියම ගායන තරු රැසක් එක්ව ගයන ‘එක්ව ජය ගමු’ LPL තේමා ගීතය තරගාවලි සංවිධායකයන් වන The IPG Group විසින් එළිදක්වනු ලැබීය.

LPL යනු ලොව පුරා සිටින දක්ෂ ක්‍රීඩකයන් සහභාගී වන ක්‍රිකට් තරගාවලියක් වන අතර මෙරට නැගී එන ක්‍රීඩකයන් හට තම ජ්‍යෙෂ්ඨයන් සහ පළපුරුදු විදෙස් ක්‍රීඩකයන් සමඟ එකතුව තරග වදිමින් සිය දක්ෂතා විදහා දැක්වීම සඳහා වේදිකාවක් බවට පත්වන මෙම තරගාවලිය, එම දක්ෂයන් හට ජාතික විස්සයි විස්ස කණ්ඩායමට එක්වීම පිණිස මග පාදා දෙනු ලබයි.

ජාතික මට්ටමෙන් එවැනි සුවිශේෂී වැදගත්කමක් සහිත මෙම තරගාවලියට තේමාවක් එක්කරනු ලබන ‘එක්ව ජය ගමු’ ගීතය සඳහා ජනප්‍රිය ගායක තරු වන භාතිය – සන්තුෂ්, යොහානි, සංඛ, සජිත, උමාරියා සහ ADK යන ගායික ගායිකාවන් හඬ මුසුකරති.

LPL තරගාවලිය 2021 දෙසැම්බර් 05 වැනිදා ආරම්භ වීමට නියමිත අතර දෙසැම්බර් 23 වැනිදා එහි අවසන් මහා තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

>> LPL හි නිල දිරිගැන්වීමේ ගීතය එළිදැක්වීමේ අවස්ථාවේ ඡායාරූප ඇල්බමය <<

ලීග් සහ පිළිමළුන් පිටුදැකීමේ වට ලෙසින් තරග 24කින් සමන්විත මෙවර තරගාවලිය සඳහා Jaffna Kings, Colombo Stars, Galle Gladiators, Kandy Warriors ලෙසින් කණ්ඩායම් 5ක් තරග වදිති.

LPL තරගාවලිය දියත් කිරීම සම්බන්ධයෙන් සිය අදහස් දැක්වූ තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා,

“අපගේ තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් ඉහළ  නැංවීමට අප සෑමවිටම  ඉහළම ප්‍රමුඛත්වයක් ලබා දෙනවා. ඒ අනුව එළඹෙන LPL තරගාවලිය ඔවුන්ගේ  දක්ෂතාව නංවාලීම  තීව්‍ර කළ හැකි ප්‍රවේශයක් ලෙසින් අප දකිනවා. මෙම තරගාවලිය එළිදැක්වීමේ උළෙල පැවැත්වීමට සහය දැක්වීම වෙනුවෙන් Dialog Axiata PLC සමාගමට මම ස්තුතිවන්ත වෙනවා. එසේම  ක්‍රීඩාලෝලීන්ගේ සදා මතකයේ රැඳෙන ආකාරයේ දක්ෂතා විදහා දැක්වෙන තරගාවලියක් බවට මෙය නිසැක වශයෙන් පත්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා”, යනුවෙන් පවසන ලදි.

මෙම එළිදැක්වීමේ ඉසව්වේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා,

LPL වැනි ඉහළ මට්ටමේ තරගාවලියක් මගින්, අනාගතයේ දිනයක  ජාත්‍යන්තරයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මව්බිමට ගෞරව දිනා දීමේ හැකියාවෙන් යුත් ක්‍රීඩකයන් හඳුනා ගැනීම සහ ඔවුන්ට නිසි පෙරහුරුවක් ලබා දීමට අවස්ථාව හිමිවනවා. අත්දැකීම් සපිරි විදෙස් ක්‍රීඩකයන් හා එක්ව තරග වැදීම හෝ එම ක්‍රීඩකයන්ට එරෙහිව තරග වැදීමට ඉඩ ප්‍රස්තාව සලසා දීම තුළින් ඉතා ඉක්මනින් ඔවුන්ට ජාත්‍යන්තර තලයේ  ක්‍රීඩා විලාශයන් හඳුනා ගැනීමට අවස්ථාව හිමිවෙනවා. LPL තරගාවලිය අති සාර්ථක තරගාවලියක් බවට පත්වීමට මා සුබ පතනවා”, යැයි පැවසීය.

“බිලියනයකට අධික ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ගෙන් සමන්විත දකුණු ආසියාව තුළ පන්දුවාර 20 ක්‍රිකට් ආකෘතියට විශාල නැඹුරුවක් තියෙනවා. මේ ආකාරයෙන් දැවැන්ත ලෙස මෙම තරගාවලිය පැවැත්වීමට පියවර ගැනීම සම්බන්ධයෙන් තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් මගේ සුබ පැතුම් එක්කරනවා”, යැයි මේ අවස්ථාවට එක්වූ IPG Group හී ප්‍රධාන විධායක නිලධාරි සහ නිර්මාතෘ අනිල් මොහාන් මහතා ප්‍රකාශ කරන ලදි.

“දකුණු ආසියානු කලාපයේ මහත් පිළිගැනීමක් හිමි වන කැපී පෙනෙන ඉසව්වක් බවට පත්වන LPL තරගාවලියේ නිල සන්නිවේදන සහකරු ලෙසින් අනුග්‍රහය දැක්වීමට හැකි වීම සම්බන්ධයෙන් Dialog සමාගම මහත් සතුටට පත්වෙනවා”, යැයි පවසන Dialog Axiata PLC හී සමූහ ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ මහතා, “වසර 10ක පමණ කාලයක් පුරා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහක ලෙසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම වෙනුවෙන්  කටයුතු කරන අතර  ජාතික කණ්ඩායම වෙනුවෙන් අනාගත ශූරයන් හඳුනා ගැනීම හා තෝරාගැනීම උදෙසා LPL වැනි තරගාවලියක් අගනා වේදිකාවක් බවට පත්වනු ඇති බවට විශ්වාස කරනවා”, යැයි වැඩිදුරටත් පැවසීය.

Dialog Axiata ජාතික ක්‍රිකට්, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම් හි නිල අනුග්‍රාහකයා ලෙස ද කටයුතු කරන අතර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලි, රග්බි අන්තර් සමාජ, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසල් ක්‍රිකට් හා පාසල් රග්බි තරග, යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය,

ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.

Dialog Axiata PLC සමූහ ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ මහතා විසින් IPG Group හී ප්‍රධාන විධායක නිලධාරි සහ නිර්මාතෘ අනිල් මොහාන් මහතා වෙත අනුග්‍රාහකත්වය නිල වශයෙන් පිරිනැමූ අවස්ථාව. තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

IPG Group හී ප්‍රධාන විධායක නිලධාරි සහ නිර්මාතෘ අනිල් මොහාන් මහතා සහ ගායක ගායිකාවන් එක්ව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත ‘එක්ව ජය ගමු’ ගීතයේ CD තැටිය භාර දුන් අවස්ථාව.

ඡායාරූපයේ වමේ සිට දකුණට: ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, තරුණ සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා, සංඛ දිනෙත්, සන්තුෂ් වීරමන්, භාතිය ජයකොඩි, Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, යොහානි ද සිල්වා, උමාරියා සිංහවංශ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා.

ඡායාරූපයේ වමේ සිට දකුණට: ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, තරුණ සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා, සංඛ දිනෙත්, සන්තුෂ් වීරමන්, භාතිය ජයකොඩි, Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, යොහානි ද සිල්වා, උමාරියා සිංහවංශ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<