පළමු දිනයේ දී ශ්‍රී ලංකාවට අමිහිරි මතක ගොන්නක්

Dialog ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය 2021

331
Dialog Asia 7s Series 2021 day 1

සත් සාමාජික රග්බි පිටිය කලකට පසුව උණුසුම් කරමින් අද (19) ආරම්භ වූ ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන්නේ මෙරට ප්‍රමුඛතම සන්නිවේදන ජාලය වන Dialog Axiata PLC සමාගමේ අනුග්‍රහය යටතේයි.

නවක යොවුන් ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික රග්බි සංචිතයේ නායකත්වය ආදි ඉසිපතන ක්‍රීඩකයෙකු සහ වත්මන් නාවික හමුදා රග්බි සංචිතයේ Flanker ක්‍රීඩක අදීෂ වීරතුංග විසින් හොඹවන අතර කාන්තා සංචිතයේ නායකත්වය දරන්නේ දුලානි පල්ලෙකොන්දගේ‍ විසිනුයි.

ශ්‍රී ලංකා ජාතික පිරිමි සත් සාමාජික කණ්ඩායම අද තරග තුනක් සඳහා සහභාගී වූ අතර එහි දී ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ප්‍රබල චීනය හමුවේ පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදු වුනා.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ප්‍රබල ජපානයට එරෙහිව පැවති අතර තරගය නිමා වුනේ 29-14ක් ලෙස ජපානය ජයග්‍රහණය වාර්තා කරමිනුයි. තරගයේ ප්‍රථම අර්ධයේ දී ශ්‍රී ලංකාවට ලකුණක් රැස්කර ගන්නට අවස්ථාවක් නොදුන් ජපානය 19-00ක් ලෙස එම තරගයේ දී පෙරමුණ ගන්නට සමත් වුනා.

කෙසේ නමුත් දෙවැනි අර්ධයේ දී තරගයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් ලකුණු 14ක් රැස්කරන්නට සමත් වුනේ නිශෝන් පෙරේරා සහ සචිත් සිල්වා විසින් වාර්තා කළ පූර්ණ උත්සාහක දිනුම් හේතුවෙනුයි.

  • ශ්‍රී ලංකාව 14 – 29 ජපානය

ශ්‍රී ලංකාවේ දෙවැනි ප්‍රතිවාදීන් වූයේ සත්කාරක එක්සත් අරාබි එමීර් කණ්ඩායමයි. ජපානයෙන් දැඩි ප්‍රහාරයකට ලක් වූ ශ්‍රී ලංකාවට මෙම තරගයේ ප්‍රථම අර්ධයේ දී ද කිසිදු ලකුණක් වාර්තා කරන්නට ප්‍රතිවාදීන් ඉඩ තැබුවේ නැහැ.

17-00ක් ලෙස ප්‍රථම අර්ධය සත්කාරකයින් විසින් පෙරමුණ ගනිමින් නිමා වුවත් තරගය අවසානයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පූර්ණ උත්සාහක දිනුමක ලකුණු එකතු කරන්නට ජනිඳු ඩිල්ෂාන් සමත් වුනා. තරගය නිමා වුනේ 29-07ක් ලෙසයි.

  • ශ්‍රී ලංකාව 07 – 29 එක්සත් අරාබි එමීර් රාජ්‍යය

ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික කණ්ඩායම සහභාගී වූ අවසන් තරගය ප්‍රබල චීනය සමඟ පැවති අතර එම තරගයේ දී කිසිදු ලකුණක් රැස් කරන්නට ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබුණේ නැහැ. ප්‍රථම අර්ධය 17-00ක් ලෙස අවසන් වෙද්දී තරගයේ නියමිත කාලය අවසානයේ ලකුණු පුවරුව දැක්වුණේ 32-00ක් වශයෙනුයි.

  • ශ්‍රී ලංකාව 00 – 32 චීනය

තරගාවලියේ පළමු දිනය අවසන් වන විට ජපානය B කාණ්ඩයේ අපරාජිතව පෙරමුණේ පසු වන අතර චීනය දෙවැනි ස්ථානයේ පසු වනවා. ඔවුන් කුසලාන අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටින විට තෙවැනි සහ සිව්වැනි ස්ථාන දිනා සිටින එක්සත් අරාබි එමීර් සහ ශ්‍රී ලංකාව බඳුන/ පලඟ අවසන් පූර්ව තරග සඳහා තරග වැදීමට නියමිතයි.

A කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථානයේ සිටින හොංකොං සහ දකුණු කොරියාව හෙට චීනය සහ ජපානය සමඟින් කුසලාන අවසන් පූර්ව තරග සඳහා තරග කරනු ඇත. පිලිපීනය සහ මැලේසියාව පිළිවෙළින් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ තරග කරනු ඇත.

  • කුසලාන අවසන් පූර්ව වටය / 3rd -4th Playoff 01 – හොංකොං සහ චීනය
  • කුසලාන අවසන් පූර්ව වටය / 3rd -4th Playoff 02 – ජපානය සහ දකුණු කොරියාව
  • පලඟ අවසන් පූර්ව වටය / 7th -8th Playoff 01 – පිලිපීනය සහ ශ්‍රී ලංකාව
  • පලඟ අවසන් පූර්ව වටය / 7th -8th Playoff 02 – UAE සහ මැලේසියාව

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ද අද දිනයේ දී තරග 3ක් සඳහා සහභාගී වූ අතර එහි දී ඔවුන් සහභාගී වූ පළමු තරගයෙන් ලකුණු 12-10ක් ලෙස මැලේසියාව හමුවේ තියුණු ජයක් වාර්තා කරන්නට සමත් වුනා.

කෙසේ නමුත් ඉන් අනතුරුව ඔවුන් චීනය හමුවේ දැවැන්ත පරාජයකට ලක් වුනේ 45-00ක් වශයෙනුයි. හොංකොං රාජ්‍යයට එරෙහිව පැවති තෙවැනි තරගයේ දී ද ශ්‍රී ලංකා කාන්තාවන්ට අමිහිරි පරාජයකට මුහුණ දෙන්නට සිදු වුනේ 38-05 වශයෙනුයි.

ශ්‍රී ලංකාව හෙට පලඟ ශූරතාවය සඳහා වන අවසන් පූර්ව තරගයේ දී පිලිපීනය සමඟින් තරග වැදීමට නියමිතයි.

  • කුසලාන අවසන් පූර්ව වටය / 3rd -4th Playoff 01 – ජපානය සහ හොංකොං
  • කුසලාන අවසන් පූර්ව වටය / 3rd -4th Playoff 02 – චීනය සහ කසකස්තානය
  • පලඟ අවසන් පූර්ව වටය / 7th -8th Playoff 01 – තායිලන්තය සහ මැලේසියාව
  • පලඟ අවසන් පූර්ව වටය / 7th -8th Playoff 02 – ශ්‍රී ලංකාව සහ පිලිපීනය

තරගාවලියේ දෙවැනි සහ අවසන් දිනය හෙට (20) පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<