දිවයින පුරා පැතිරුණු බොක්සිං ක්‍රීඩකයන් එකිනෙක ගැටෙන “2017 ජාතික ආධුනික බොක්සිං තරගාවලියේ” තවත් දිනක් අද (30) කොළඹ මාස් රාජකීය බොක්සිං කවයේ දී නිමා විය.

ආධුනික තරගාවලියේ උණුසුම් අර්ධ අවසන් පූර්ව වටය එක් පසෙකින් නිමාවෙද්දී, පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් බොක්සිං ශූරතාවය නියෝජනය කරන ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තියේ අවසන් තරගය ද එහි දී පැවති අතර පස්වරක් ජාතික ශූරතාවය දිනූ එස්. බණ්ඩාර ලද පරාජය එහි දී කැපීපෙනිණි.

පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ලයිට් ෆ්ලයි වෙයිට් (කි.ග්‍රෑ. 46-49) බරපන්තියේ අවසන් තරගය ඉතා උණුසුම් එකක් විය. එහි දී සටන් වැදුණේ පිළිමතලාව ධීරානන්ද මහා විද්‍යාලයේ එස්. බණ්ඩාර සහ ඉංගිරිය ගාමිණී විද්‍යාලයේ රුක්මාල් ප්‍රසන්න අතරයි. දෙදෙනාම හොඳින් සටන් වැදුණු අතර වේගය සහිත වූ බණ්ඩාර අභිබවා ප්‍රසන්නගේ මුෂ්ටි ප්‍රහාරවල ශක්තිය ජය ගත්තේ විනිසුරු තීරණ 4-1ක් වශයෙනි. තරගයෙන් අනතුරුව ThePapare.com සමඟින් අදහස් දැක්වීමට පී. ඒ. රුක්මාල් ප්‍රසන්න එක්විය.

“සතුටුයි. හොඳින් පුහුණු කටයුතුවල යෙදුණා. පුහුණුකරු දිනේෂ් ප්‍රනාන්දු තමයි මට ගොඩක් උදව් කළේ. බණ්ඩාර හොඳ අභියෝගයක් වුනා.”

කි.ග්‍රෑ. 52, ලයිට් වෙයිට් බරපන්තියෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් තරගාවලියට සුදුසුකම් ලැබුවේ ද ඔහුගේම පාසලේ ලසිඳු ඉරංග යි. ඔහු සහභාගී වූ අවසන් තරගය ඊයේ (29) පැවැත්විණ.

“ගොඩක් සතුටුයි. ප්‍රදේශයේ දේශගුණයයි දුෂ්කරතායි නිසා මට ජය ගන්න ශක්තිය ලැබුණා කියන්න පුළුවන්. ඉදිරියටත් බොක්සිං ක්‍රීඩාව එක්කම ඉන්න බලාපොරොත්තු වෙනවා.” ලසිඳු ඉරංග අප හා පවසා සිටියේ එලෙසිනි.

ආධුනික බොක්සිං තරගාවලිය

ආරක්ෂක සේවා සහ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් මෙම තරගාවලියට ක්‍රීඩකයන් සහභාගී වී තිබුණි. අද දිනය නිමා වන විට පැවති අර්ධ අවසන් පූර්ව තරගවල දී වාර්තා වූ ප්‍රතිඵල මෙසේයි.

කි.ග්‍රෑ. 49, ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය

ශ්‍රී ලංකා ගුවන් හමුදා කෆීර්කණ්ඩායමේ පී. බණ්ඩාර සහ යුධ හමුදා කණ්ඩායමේ කේ. අබේගුණවර්ධන මෙහි පළමු අර්ධ අවසන් පූර්ව තරගයට එක්විය. එහි දී වේගයෙන් පහර දුන් අබේගුණවර්ධන විසින් ප්‍රතිවාදියාව බිමහෙලන ලද අතර විනිසුරු තීරණය කළේ තරගය නවත්වා අබේගුණවර්ධනට ජය ලබා දීමටයි.

දෙවන අර්ධ අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකා යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ ඩී. දිවාකර සහ විද්‍යාරතන බොක්සිං කණ්ඩායමේ එන්. හඳුවල අතරයි. දෙදෙනාම වේගවත් ක්‍රීඩකයන් වූවත් දිවාකරගේ වේගය, හඳුවලගේ වේගය ඉක්මවා ගියේය. ජූරියේ 4-1ක බහුතර තීරණයකින් දිවාකරට ජය හිමි විය.

තෙවන අවසන් පූර්ව තරගය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කේ. සින්දුජන් සහ යුධ හමුදා කණ්ඩායමේ නදීක කුමාර අතර පැවැත්විණි. එහි දී කරට කර තරගයක් දිස්වූ අතර 3-2ක ජූරි තීරණයකින් නදීක ජය ගත්තේය.

මෙම බරපන්තියේ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය, ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ අයි. සංජය සහ සිල්වර්ලයින් බොක්සිං සමාජයේ ඒ. කපුකොටුව අතර පැවැත්විණි. එහි දී සංජය තරගය ජය ගත්තේ ජූරියේ තීරණ 5ම තමන් සතුකරගනිමිනි.

කි.ග්‍රෑ. 52, ෆ්ලයි වෙයිට් බරපන්තිය

මෙම බරපන්තිය යටතේ පැවති තරග හතරෙන් පළමු තරගයට එක්වුණේ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ ඒ. සමරනායක සහ ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ ඩබ්ලිව්. මනරම් ය. 5-0ක ජූරි බහුතරයකින් මනරම් තරගය ජය ගත්තේය.

දෙවන තරගය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ සී. ප්‍රේමතිලක සහ ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ එම්. කරුණාසිංහ එක්වූ අතර ජූරියේ 5-0ක පූර්ණ බහුතරයකින් ජය ලබන්නට කරුණාසිංහ සමත් විය.

තෙවන තරගය පැවැත්වුණේ යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ එම්. උදයකුමාර සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කෆීර්කණ්ඩායමේ කසුන් කුමාර අතරයි. උදයකුමාරට ජය ලබාදෙමින් විනිසුරු තරගය නිමා කළේ ඔහුගේ පහර දරා ගැනීම ප්‍රතිවාදියාට අපහසු වීම හේතුවෙනි.

සිව්වන තරගය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ එල්. ධර්මප්‍රිය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ පී. ඩිල්ෂාන් එක්විය. එහි දී ඩිල්ෂාන් ජය ලැබුවේ ජූරියේ 5-0ක තීරණයකිනි.

කි.ග්‍රෑ. 60, ලයිට් වෙයිට් බරපන්තිය

YMCA

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කේ. දේවප්‍රිය සහ තරුණ ක්‍රිස්තියානි සංගමයේ ඒ. හෆීල් අතර පැවති තරගයෙන් මෙම බරපන්තියේ තරග ඇරඹිණි. 5-0ක ජූරි බහුතරයකින් තරගය තමා සතුකරගන්නට දේවප්‍රිය සමත් විය.

දෙවන ලයිට් වෙයිට් අර්ධ අවසන් පූර්ව තරගය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඒ. මධුශංක සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කෆීර්කණ්ඩායමේ පී. ගලප්පත්ති අතර පැවතිණි. එහි දී කෆීර්කණ්ඩායම විසින් තරගය අත්හරින ලද බැවින් මධුශංකට ජය හිමි විය.

තෙවන තරගය ඉතාම උණුසුම් එකක් වූයේ යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ එස්. කුමාර සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පී. එස්. කුමාර හොඳින් තරග කළ බැවිනි. නාවික හමුදාවේ පී. එස්. කුමාර, ජූරියේ 3-2ක බහුතරයක් ලබා ගනිමින් ජය ගත්තේය.

සිව්වන තරගය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ බී. වරාපිටිය සහ යුධ හමුදා කණ්ඩායමේ එම්. ජයවීර අතර පැවැත්විය. එහි දී වරාපිටිය, ජයවීරගෙන් දරුණු ලෙස පහර කෑ බැවින් තරගය නවත්වා ඔහුට ජය ලබා දීමට විනිසුරු තීරණය කළේය.

කි.ග්‍රෑ. 64, ලයිට් වෙල්ටර් වෙයිට් බරපන්තිය

පළමු තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ එස්. භානුක සහ ගුවන් හමුදාවේ එස්. විජේසුන්දර අතරයි. එනමුත් විජේසුන්දර, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වූ බැවින් භානුක නිතරගයෙන් ඉදිරියට ගියේය.

මෙහි දෙවන අර්ධ අවසන් පූර්ව තරගය, ශ්‍රී ලංකා යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙපලක් වන එච්. මැද්දෙවිතාන සහ සී. මධුශංක අතර පැවැත්විණි. එය 4-1ක ජූරි බහුතරයකින් ජය ගන්නට මධුශංක සමත් විය.

තෙවන තරගය වෙනුවෙන් සටන් වැදුණේ යුධ හමුදාවේ කේ. සමීර සහ සිල්වර්ලයින් ක්‍රීඩා සමාජයේ ඩී. හේවගේ ය. එහි දී සමීර ඉතා වේගවත් සහ දක්ෂ ක්‍රීඩා විලාශයක නිරත වෙමින් 4-1ක ජූරි බහුතරයක් ලබාගෙන ජය ගන්නට සමත් විය.

මෙම බරපන්තියේ සිව්වන තරගය, ගුවන් හමුදා කෆීර්කණ්ඩායමේ බී. ගමගේ සහ පොලිස් ක්‍රීඩා සමාජයේ ඩී. නිලංග අතර පැවැත්විණි. පළමු වටයේ දී ම ප්‍රතිවාදියා බිමහෙලන්නට නිලංග සමත්වූවත් නැවත නැගී සිටි ගමගේ, තෙවරක්ම නිලංගව බිමහෙලමින් ජය ගත්තේ උද්වේගකර තරගයක් අවසානයේ දී යි.

කි.ග්‍රෑ. 69, වෙල්ටර් වෙයිට් බරපන්තිය

ගුවන් හමුදා ක්‍රීඩකයන් දෙපලක් වූ ජී. මධුරංග සහ එම්. අබේරත්න විසින් මෙහි පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ ස්ථාන වෙන්කොටගෙන තිබිණි. හොඳ තරගයක් දිස්වුවත් කිසියම් හේතුවක් නිසා තරගය අත්හැර දමන්නට මධුරංගගේ පාර්ශවය තීරණය කළේ අබේරත්නට ජය හිමිකර දෙමිනි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සී. සෙනවිරත්න සහ ගුවන් හමුදා කෆීර්කණ්ඩායමේ කේ. තිලකරත්න අතර පැවති මීළඟ තරගය, ජූරියේ තීරණ 5-0ක් ලෙස ජය ගන්නට සෙනවිරත්න සමත් විය.

යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ එස්. රූපසිංහ සහ යුධ හමුදාවේම එම්. ඒකනායක අතර පැවති තරගයේ දී උසස් තාක්ෂණික දක්ෂතා ප්‍රදර්ශනය වූ අතර තරගය අවසන් වූයේ ජූරියේ තීරණ 5න් 5ම රූපසිංහට පැවරෙමිනි.

සිව්වන තරගය සඳහා යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ වී. නිකලස් සහ ගුවන් හමුදාවේ බී. සමරසිංහ තරග වැදුණු අතර නිකලස්ට ජය හිමි වුණේ 5-0ක ජූරි තීරණයකිනි.

කි.ග්‍රෑ. 81, ලයිට් හෙවිවෙයිට් බරපන්තිය

ARMY

ආදි ත්‍රිත්ව විද්‍යාලයීය බොක්සිං සමාජයේ අයි. අබේරත්න සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ එල්. අමරසිංහ අතර පැවති තරගයේ දී අබේරත්න දිගින් දිගටම පහර කෑමට ලක්වූ බැවින් විනිසුරු තරගය නිමා කළේ අමරසිංහව ජයග්‍රාහකයා කරවමිනි.

ආධුනික බොක්සිං සමාජයේ කේ. රොද්‍රිගෝ සහ යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ එන්. බණ්ඩාර අතර තරගය ද විනිසුරු විසින් නිමා කෙරුණේ බණ්ඩාරව ජයග්‍රාහකයා කරවමිනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්. පුෂ්පකුමාර සහ විදියාලන් විද්‍යාලයේ එන්. පුෂ්පරාජ් අතර පැවති තරගය 5-0ක ජූරි තීරණයකින් ජය ගන්නට පුෂ්පකුමාර සමත් විය.

මෙම බරපන්තියේ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය, යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ එම්. සම්පත් සහ ගුවන් හමුදා කෆීර්කණ්ඩායමේ එස්. තිලකරත්න අතර පැවතියේය. ජූරියේ තීරණ 5න 4ක් තමන් සතුකරගත් තිලකරත්න මෙහි දී ජය ලැබුවේය.

කි.ග්‍රෑ. 91, හෙවි වෙයිට් බරපන්තිය

තරුණ ක්‍රිස්තියානි සංගමයේ කිෂෝ කුමාර් සහ යුධ හමුදා කණ්ඩායමේ ආර්. සඳකැලුම් අතර තරගයේ දී කුමාර් දැඩිව පහර කෑමට ලක්වීම නිසා ඔහුගේ කණ්ඩායම ඔහුව තරගයෙන් ඉවත් කර ගත්තේ සඳකැලුම් ජයග්‍රාහකයා කරවමිනි.

රාජකීය විද්‍යාලයීය බොක්සිං සමාජයේ ඩී. රත්නායක සහ විදියාලන් විද්‍යාලයේ ජේ. තර්ශිහාන් අතර තරගයේ දී රත්නායකගේ පහරවල දැඩිභාවය නිසාම විනිසුරු තරගය නවතා දැමුවේ ඔහුට ජය හිමි කර දෙමිනි.

ශ්‍රී ලංකා යුධ හමුදා කෆීර්කණ්ඩායමේ ඒ. රත්නායක සහ යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ පී. වාරියප්පෙරුම අතර පැවති මීළඟ තරගයේ දී 5-0ක ජූරි බහුතරයක් සමඟින් ජය ගන්නට වාරියප්පෙරුම සමත් විය.

මෙම බරපන්තියේ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය, ආධුනික බොක්සිං සමාජයේ සමල් හේමචන්ද්‍ර සහ ගුවන් හමුදා කෆීර්කණ්ඩායමේ බී. සේනානායක අතර පැවැත්විණි. සේනානායක එහි දී ජය ගත්තේ 3-2ක් ලෙස අපහසුවෙනි.

කි.ග්‍රෑ. 91ට වැඩි, සුපර් හෙවි වෙයිට් බරපන්තිය

මෙම බරපන්තිය වෙනුවෙන් පැවති එකම තරගයේ දී විදියාලන් විද්‍යාලයේ ටී. සතුශාන් පරදවා යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ එම්. අබේසිංහ ජය ලැබුවේ දැඩි පහරවල් සමඟින් ප්‍රතිවාදියා බිමහෙලමිනි.

තරගාවලිය උණුසුම් කරමින් අද නිමා වූ තරගවල ජයග්‍රාහකයන්ට හෙට (31)  අවසන් පූර්ව තරග ජය ගැනීමේ අභියෝගය එල්ල වනු ඇත. ඉදිරියෙන් සිටින යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා රෙඩ්කණ්ඩායම ඉදිරි දින දෙකේ දී කෙසේ තම ස්ථානයන් රැක ගනීවිද? එක්ව සිටින්න ThePapare.com සමඟින්…    

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට