අබුඩාබි යන්න බැරි වුන PSL ක්‍රීඩකයන් නැවතත් නිවසට

124

වීසා ගැටලුවක් නිසාවෙන් පාකිස්තාන සුපර් ලීගයට සහභාගි වීම සඳහා අබුඩාබි වෙත යෑමට නොහැකි වූ ක්‍රීඩකයන් සහ කණ්ඩායම් නිලධාරීන් නැවතත් සිය නිවෙස් වෙත යැවීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

වීසා බලපත්‍ර නිකුත් කිරීමේ දී තවත් ප්‍රමාදයන් ඇති වීමට ඉඩක් පවතින නිසාවෙන් මෙම තීරණය ගැනීමට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන්ට සිදුව තිබෙනවා.

කෙසේ නමුත් මෙම ගැටලුව පිළිබඳව අදහස් දක්වමින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ ඔවුන්ගේ වීසා බලපත්‍ර නිකුත් වූ සැණින් ඔවුන් අබුඩාබි වෙත පිටත් වීමට පෙර සියලු දෙනා PCR පරීක්ෂාවන්ට ලක් කිරීමට කටයුතු කරන බවයි.

මීට පෙර ක්‍රීඩකයන් පස්දෙනෙකු අබුඩාබි වෙත පැමිණ ඇති බවත්, තවත් ක්‍රීඩකයන් සහ නිලධාරීන් දොළොස් දෙනෙකු අද (31) අබුඩාබි වෙත පැමිණීමට නියමිතව ඇති බවත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර සිටියා.

එම ක්‍රීඩකයන් සහ නිලධාරීන් 17 දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවසරය ලබා ගැනීමෙන් පසුව පාකිස්තානයෙන් පිටත්ව තිබෙනවා.

“ක්‍රීඩකයන් සහ නිලධාරීන් පිරිසකට සිදු වූ සිදුවීම ගැන අපි කනගාටුවට පත්වෙනවා. නමුත් මෙය සිදුව ඇත්තේ අනපේක්ෂිත තත්වයන් සහ අනපේක්ෂිත අභියෝග නිසයි. 

නමුත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වන අප අබුඩාබි ක්‍රීඩා කවුන්සිලය සහ UAE බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා සියලුම ක්‍රීඩකයන් සහ නිලධාරීන් නියමිත වේලාවට අබුඩාබි වෙත ගෙන්වා ගැනීමට” පාකිස්තාන ක්‍රිකට් අධ්‍යක්ෂක Babar Hamid ප්‍රකාශ කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

පසුගිය සතියේ දී Quetta Gladiators වේගපන්දු යවන ක්‍රීඩක Naseem Shah සහ Multan Sultans තුන් ඉරියව් ක්‍රීඩක Shahid Afridi තරගාවලියෙන් ඉවත් වන බව ප්‍රකාශ කර සිටියා.

Shahid Afridi ආබාධයක් නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වීමට කටයුතු කළ අතර Naseem වත්මන් නිරෝධායන නීති උල්ලංඝනය කළ නිසාවෙන් තරගාවලියෙන් ඉවත් කිරීමට තීරණය කර තිබුණා.

නමුත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එම තීරණය පිළිබඳව නැවත සලකා බලා Naseem හට තරගාවලියට සහභාගී වීමට අවසර ලබා දී තිබෙනවා.

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම නිසා මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය මාර්තු මාසයේ දී කල්දැමීමට තීරණය කළ අතර එහි ඉතිරි තරග ජුනි මාසයේ අබුඩාබි හිදී පැවැත්වීමට පසුව තීරණය කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<