වසර 53කට පසු ඉතාලිය Euro කිරුළ දිනයි

Euro 2020

387

ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගනිමින් මාසයක් පුරාවට පැවති “Euro 2020” පාපන්දු තරගාවලියේ අවසන් තරගයෙන් එංගලන්තය පරාජය කරමින් Euro පාපන්දු කිරුළ දිනා ගැනීමට ඉතාලිය සමත් වුනා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (12) උදෑසන එංගලන්තයේ Wembley ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ආරම්භයට පැය කිහිපයකට පෙර සිටම විශාල ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් ක්‍රීඩාංගණය තුළ හා අවට රැස්ව සිටිනු දක්නට ලැබුණා.

Wembley ක්‍රීඩාංගණය තුළ සිය කණ්ඩායමේ ප්‍රබලත්වය නැවත සනාථ කරමින් තරගයේ දෙවැනි මිනිත්තුවේ දී ම ගෝලයක් රැස් කිරීමට එංගලන්ත ක්‍රීඩක Luke Shaw සමත් වුනේ Trippier deep ලබා දුන් පන්දුවක් ගෝලයේ වම් කෙළවරින් දැල වෙත එල්ල කරමින්.

ආරම්භයේම සිදු වූ පසුබෑමෙන් පසු ඉතා හොද පන්දු පාලනයක් ඉතාලි ක්‍රීඩකයන්ගෙන් දක්නට ලැබුනත්, ඔවුන්ට ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් එංගලන්ත පසුපෙළ ක්‍රීඩකයන්ගෙන් හිමි වුනේ නැහැ.

එම නිසාවෙන් පළමු අර්ධයේ දී ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගනිමින් ප්‍රේක්ෂකයන්ගේ ජයඝෝෂා මධ්‍යයේ එම අර්ධය අවසන් කිරීමට සත්කාරක එංගලන්තයට හැකි වුනා.

ගෝලයක් ලබා ගනිමින් නැවත තරගයට පිවිසීමේ අධිෂ්ඨානයෙන් දෙවැනි අර්ධයට පිවිසි ඉතාලි කණ්ඩායමේ Federico Chiesa ගෝලයේ දකුණු කෙළවරින් එල්ල කළ පහරක් දක්ෂ ලෙස නවතාලීමට එංගලන්ත ගෝල රකින්නා සමත් වුනේ තරගයේ ආධිපත්‍ය තව දුරටත් සිය කණ්ඩායමේ රඳවා ගනිමිනි.

නමුත් එංගලන්ත ප්‍රේක්ෂකාගාරය නිහඬ කරමින් සිය කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය රැස් කිරීමට ඉතාලි ක්‍රීඩක Leonardo Bonucci සමත් වුනේ තරගයේ 67 වැනි මිනිත්තුවේ දීයි.

එංගලන්ත ගෝල රාමුවේ වැදී පැමිණි පන්දුවක් ගෝලයට ඉතා ආසන්නයේ සිට දැල වෙත එල්ල කරමින් ගෝල තත්වය සම කිරීමට ඔහුට හැකි වුනා.

එම ගෝලයෙන් පසු තරගයේ සම්පූර්ණ කාලය අවසන් වන තුරුම කිසිදු ගෝලයක් රැස්කිරීමට දෙපිලේම ක්‍රීඩකයන්ට නොහැකි වීම නිසා ජයග්‍රහකයන් තේරීමට අමතර අතිරේක කාලයක් ලබා දීමට විනිසුරුවන්ට සිදු වුනා.

අතිරේක මිනිත්තු 30 තුළ දී ගෝල ලබා ගැනීමට ඉතා ආසන්න අවස්ථාවන් කිහිපයක්ම කණ්ඩායම් ද්විත්වයටම හිමි වූ නමුත් ගෝල රකින්නන්ගේ දස්කම් නිසා කිසිදු ගෝලයක් වාර්තා වූයේ නැහැ.

එම නිසාවෙන් දඬුවම් පහර අවස්ථාවන්ට යොමු වීමට සිදු වූ අතර දඬුවම් පහර වටයේ පළමු දඬුවම් පහර හිමි වුනේ ඉතාලි කණ්ඩායමටයි.

ඉතාලිය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පළමු දඬුවම් පහර අවස්ථාව සාර්ථක කරගැනීමට Domenico Berardi සමත් වූ අතර එයට පිළිතුරු ලෙස තම දඬුවම් පහර අවස්ථාව ද සාර්ථකව අවසන් කිරීමට Harry Kane සමත් වුනා.

ඉතාලි ක්‍රීඩක Andrea Belotti එල්ල කළ දඬුවම් පහර වැළැක්වීමට එංගලන්ත ගෝල රකින්නා සමත් වීමත් සමඟ සිය කණ්ඩායම වෙනුවෙන් දෙවැනි දඬුවම් පහර සාර්ථක කරගනිමින් එංගලන්තය තරගයේ පෙරමුණට ගෙන ඒමට Harry Maguireට හැකි වුනා.

නමුත් ඉතාලිය වෙනුවෙන් මීළඟ දඬුවම් පහර අවස්ථා ද්විත්වයම ඉතා සාර්ථකව අවසන් කිරීමට Leonardo Bonucci සහ Federico Bernardeschiට හැකි වූ අතර එංගලන්තය වෙනුවෙන් Marcus Rashford සහ Jadon Sancho ලබා ගත් දඬුවම් පහර ද්විත්වයම අසාර්ථක දඬුවම් පහරවල් වූයේ ඉතාලියට තරගයේ වැඩි වාසි ගෙන දෙමිනි.

ඉතාලිය වෙනුවෙන් තීරණාත්මක දඬුවම් පහර එල්ල කිරීමේ අවස්ථාව ලබා ගත් Jorginho එල්ල කළ පහර වළක්වන්නට එංගලන්ත ගෝල රකින ක්‍රීඩක Jordan Pickfordට හැකි වීමෙන් එංගලන්තයට තරගයට පිවිසීමට තවත් අවස්ථාවක් හිමි වුනා.

කෙසේ නමුත් එංගලන්ත ක්‍රීඩක Bukayo Saka එල්ල කළ එම දඬුවම් පහර දක්ෂ ලෙස වළක්වන්නට ඉතාලි ගෝල රකින්නා සමත් වුනේ වසර 53කට පසු ඉතාලිය යුරෝපා ශූරයන් ලෙස අභිෂේක ගන්වමිනි.

අවසන් ලකුණු තත්වය: ඉතාලිය 1–1 එංගලන්තය

ගෝල ලාභීන්

  • එංගලන්තය: Luke Shaw 2’
  • ඉතාලිය: Leonardo Bonucci

දඬුවම් පහර අවස්ථාවන්

  • එංගලන්තය: Harry Kane, Harry Maguire
  • ඉතාලිය: Domenico Berardi,Leonardo Bonucci, Federico Bernardeschi

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<