රිනවුන් කණ්ඩායමට පෙරලිකාර ජයක්

338
DCL Sounders v Renown

ඩයලොග් ශූරයන්ගේ පාපන්දු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් රිනවුන් ක්‍රීඩා සමාජ කණ්ඩායම හා සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර තරඟය, තරගාවලියේ පළමු තරඟය ලෙස ඊයේ (24) තුරඟ තරඟ පිටියේදී පැවැත්විණි. මෙම තරඟයෙන් ගෝල 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට රිනවුන් කණ්ඩායම සමත් විය.

ප්‍රභල කණ්ඩායම් දෙකක් තරග වැදුනු මෙම තරගය රාත්‍රී තරගයක් ලෙස පැවැත්විනි. විනිසුරුගේ නලා නාදය සමඟම ඇරඹුණු මෙම තරඟය, පළමු අර්ධයේ සිටම දෙපිලම ඉතා උණුසුම්කාරී ලෙස කරට කර තරගයක නිරත විය. කෙසේ වෙතත් දෙපිලටම ගෝල ලබාගැනීමට තිබූ අවස්ථාවන් කිහිපයක්ම මඟ හැරී ගිය අතර ශ්‍රී ලංකා 19 න් පහළ පාපන්දු කණ්ඩායමේ මෙන්ම සෝන්ඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩක සුන්තරරාජ් නිරේෂ් තරගයේ 40 වන මිනිත්තුවේදී  ප්‍රථම ගෝලය ලබා ගැනීමට සමත් වු අතර ඔහු සිය ජර්සිය ගලවා එහි සතුට සැමරීමට යෑම නිසා තරග තීරකවරයා විසින් කහ කාඩ් පතක් ලබා දෙන ලදි. 

ප්‍රථම අර්ධය තුල අගනා ගෝල දෙකක් ලබා ගැනීමට තිබු අවස්ථා දෙකක් සෝන්ඩර්ස් කණ්ඩායම මඟ හැරගත් නමුත් තරගයේ පළමු අර්ධය නිමාවන විට ඔවුන් ගෝල 1-0 ක් ලෙස ඉදිරියෙන් පසුවිය.

අනතුරුව තරගයේ දෙවන අර්ධය අාරම්භ කර සුළු මොහොතකින් නිරේෂ්හට නැවතත් කහ කාඩ් පතක් ලැබුනු අතර කහ කාඩ් පත් දෙකක් ලැබීම නිසා ඔහුට රතු කාඩ් පතක් හිමි විය. එම සිදුවීමත් සමඟ සෝන්ඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් ගණන 10ක් දක්වා පහත වැටුනු අතර එයින් ප්‍රයෝජන ලබා ගත් රිනවුන් ක්‍රීඩා සමාජය 58 වැනි මිනිත්තුවේදි ගෝලයක් ලබා ලකුණු සම කර ගැනීමට සමත් විය. ඒ ජොබ් මයිකල් විසින් ලබා ගත් ගෝලයයි. එක් ක්‍රීඩකයෙකු නොමැතිව වුවත් හොඳින් ක්‍රීඩා කල සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය තරගයේ අවසන් මොහොත අාසන්නය දක්වාම ප්‍රතිවාදීන්ට ගෝල රැස් කිරීමට ඉඩ ලබා නොදුන් අතර තරගයේ 89 වැනි මිනිත්තුවේදි ෆසාල් මොහොමඩ් ජයග්‍රාහි ගෝලය රිනවුන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වාර්තා කිරීමට සමත් විය. 

ඒ සමඟින් ශූරයන්ගේ කුසලානයේ අාරම්භක තරගය නිමාවූයේ ගෝල 2-1 ක් ලෙස රිනවුන් කණ්ඩායමට ජයග්‍රහණය හිමිකම් කර දෙමිනි. මෙම තරගය B කාණ්ඩයේ තරගයක් වන අතර ප්‍රභල ක්‍රීඩා සමාජ කිහිපයක් B කාණ්ඩය නියෝජනය කරන හෙයින් රිනවුන් ක්‍රීඩා සමාජයට මෙය ප්‍රභල ජයග්‍රහණයක් විය.  

ThePapare.com තරඟයේ වීරයා සෝන්ඩර්ස්  කණ්ඩායමේ සනෝජ් සමීර

සුපර්සන් ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරඟය අද (25) කළුතර වර්නන් ෆර්නැන්ඩෝ ක්‍රීඩා පිටියේදී සවස 3.15 ට පැවැත්වීමට නියමිතව ඇත. එසේම ඉරිදා දිනයේ බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය සහ කොළඹ පාපන්දු සමාජය අතර තරගයත් වර්නන් ෆර්නැන්ඩෝ ක්‍රීඩාංගණයේදිම පැවැත්වේ. තරග දෙකකම ThePapare.com විසින් සජීවීව විකාශය කරන අතර ශූරයින්ගේ කුසලානයේ සියළු තොරතුරු සඳහා DCL HUB එකට පිවිසෙන්න.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට