භයානකම කණ්ඩායම එංගලන්තය – කෝලි

189

2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයට තවත් ඇත්තේ ඉතාමත්ම කෙටි කාලයක්. ක්‍රිකට් ක්‍රීඩාව අතිශය වේගවත් වීමත් සමඟ එදා මෙදා තුර තරගකාරීම ලෝක කුසලානය මෙය විය හැකි බව ලෝක කුසලානයට එක්වන කණ්ඩායම් දහයේ නායකයින් අදහස් පළ කරනවා.

හතළිස් වසරක සිහිනයක් සමඟ ලෝක කුසලානයට පිවිසෙන කොදෙව්වෝ

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට ………

බ්‍රහස්පතින්දා (23) සවස ලන්ඩනයේ The Film Shed හිදී මෙවර ලෝක කුසලානයේ නායකයින්ගේ, නිල මාධ්‍ය හමුව පැවැත්වුණා.  

සත්කාරක එංගලන්තය හරියටම තවත් සතියකින් මෙවර ලෝක කුසලානයේ මංගල තරගයට සහභාගී වන්නේ සුප්‍රසිද්ධ ඕවල් පිටියේ දී. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිවයි.

නව ආකෘතියට අනුව සියලුම කණ්ඩායම් එකිනෙකා සමඟ පළමු වටයේ දී තරග වදින අතර වැඩිම ප්‍රසාද ලකුණු ගණනක් ලබා ගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. මෙම නව ආකෘතියට අනුව මෙවර තරගාවලිය පෙර වතාවන්ට වඩා අතිශයින්ම උණුසුම් වනු ඇති බවයි විචාරකයින්ගේ මතය.

ඔයින් මෝර්ගන්, විරාත් කෝලි සහ අනෙක් නායකයින් සියලු දෙනා මේ වන විට සිටින්නේ තරගාවලිය ආරම්භ කිරීමට නොඉවසිල්ලෙන්. අද (24) සිට එංගලන්තය පුරා පෙර පුහුණුවීම් තරග ආරම්භ වන්නේ කණ්ඩායම්වලට එංගලන්තයේ දේශගුණයට හා තණතිලි වලට හුරුවක් ලබා දීමේ අරමුණින්.

ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී මෝර්ගන් මෙසේ පවසා සිටියා. “මම හිතන්නේ නැහැ කවුරුවත් අනෙකාට වඩා ඉස්සරහින් ඉන්නවා කියා.”

“මේ ලෝකේ හොඳම කණ්ඩායම් දහය, මේ තරගාවලිය අතිවිශේෂ තරගාවලියක් වේවි සහ තත්වයෙන් උසස් තරග බොහොමයක් අපිට දැකබලා ගන්නට පුළුවන් වේවි.”

“මෙතන සිටින හැම නායකයෙකුම ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර පැවැත්වෙන ලෝක කුසලානයේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන්නට ඕනෑම දෙයක් කරන්නට කැමතියි, ඒ අපි හැමදෙනෙක්ම පොඩි කාලේ ඉඳන් සිහින මැවූ අවස්ථාවක්.”

“අපි ලෑස්ති වෙන්න පුළුවන් හැම විදියටම සූදානම් වෙලා ඉන්නේ, අපිට දැන් ඕන අපේ පළමු තරගය ක්‍රීඩා කරන්න.”

ඉන්දියානු නායක විරාත් කෝලි මෙසේ පවසා සිටියා. “එංගලන්ත එංගලන්තයේ දී තරග වදින නිසා ඔවුන් තමයි මෙවර ලෝක කුසලානයේ භයානකම කණ්ඩායම.”

“නමුත් සියලුම කණ්ඩායම් ඉතා ශක්තිමත් සහ බොහොම සමබරයි, අපිට සෑම කණ්ඩායමක් සමඟම ක්‍රීඩා කරන්න වෙන නිසා මම හිතනවා මේක මෙතෙක් පැවති තරගකාරිම ලෝක කුසලානයක් වෙයි.”

ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් ඩේවිඩ් වෝනර් හා ස්ටීවන් ස්මිත් දෙපලම සාදරයෙන් කණ්ඩායමට පිළිගත් අතර 2015 ලෝක කුසලානය ඔවුන්ගේ ළඟම තබා ගැනීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළා. “ස්මිත් සහ වෝනර් දෙන්නම නැවත කණ්ඩායමට පැමිණ සිටිනවා, ඔවුන් දෙදෙනා කණ්ඩායම වෙනුවෙන් ගොඩක් දේවල් කරපු ක්‍රීඩකයින්. කණ්ඩායමේ මානසික තත්වය ඇති විශිෂ්ටයි.”

“තරගාවලිය ආරම්භ වුනාට පසු, විශේෂයෙන්ම එංගලන්තයට එරෙහිව තරග සහ ඉදිරියට පැවැත්වෙන අළුබඳුන ශූරතාවලියේ දී ප්‍රේක්ෂකයින් විශේෂ බලපෑමක් තරගවලට කරාවි.”

“අපිට ඒ සඳහා විශේෂ සැලසුම් තිබෙනවා. කණ්ඩායමේ ක්‍රීඩකයින් සංකලනය නම් අතිවිශිෂ්ටයි.“

දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලේසිස් දකුණු අප්‍රිකාවට ලෝක කුසලානයක් දිනා දුන් පළමු නායකයා බවට පත්වන්නට උත්සහ කරන්නේ අවසන් පූර්ව තරග හතරක් පරාජය වීමෙන් අනතුරුවයි.

“අපි හරිම උද්‍යෝගයෙන් ඉන්නේ මේ නව තරගාවලියට සහභාගී වෙන්න, සෑම තරගයක්ම අතිවිශේෂ වෙයි.” ඔහු පවසා සිටියා.

“අපි අපේ  සම්පත් භාවිතා කරන ආකාරය ඉතා වැදගත්, සෑම කණ්ඩායමකටම විශේෂ පන්දු යවන්නන් සිටිනවා සහ කණ්ඩායමේ සාර්ථකත්වයේ ලා ඔවුන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරාවි.”

“මම හිතන්නේ මෙවර තරගාවලිය පන්දු යවන්නන් විසින් ජයග්‍රහණය කරයි, තරගාවලියේ අවසන් ස්ථානවලට පත්වන කණ්ඩායම් පන්දු යවන්නන් උපරිම දස්කම් දැක්වූ කණ්ඩායම් වන බව නොඅනුමානයි.”

2017 වසරේ පෙරළියක් කරමින් ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගත් පාකිස්තානය කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් පවසා සිටියේ තරගාවලිය පිළිබඳ ඔවුන් දැඩි විශ්වාසයකින් සිටින බවයි.

මහේලට මෙවර ලෝක කුසලානයේ දී අලුත් තනතුරක්

2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වූ නිල සන්නාම ………..

“කණ්ඩායම් සියල්ලම ඉතා සමබරයි. මම සිතනවා ප්‍රේක්ෂකයින්ට විශිෂ්ට තරග කිහිපයක් නරඹන්නට හැකි වෙයි.”

“1992 වසරේ ලෝක කුසලානය දිනා ගැනීම, 1999 වසරේ එංගලන්තයේ දී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම හා 2017 දී ශූරයින්ගේ කුසලානය දිනා ගැනීම නිසා අපි ඉතා විශ්වාසයෙන් ඉන්නේ එංගලන්තයේ දී තරග කරන්න. අපි විශ්වාසය නිසාම අපි මේ අභියෝගයට ඉතා හොඳින් මුහුණ දෙයි.”

නවසීලන්තය සිව්වසරකට පෙර ලෝක කුසලානයේ අනුශූරයින් බවට පත් වූ අතර කේන් විලියම්සන් බලාපොරොත්තු වෙන්නේ නවසීලන්ත කණ්ඩායම මෙවරත් සාර්ථක වනු ඇති බවයි.

“කණ්ඩායමේ නව ක්‍රීඩකයන් වගේම පසුගිය ලෝක කුසලානය ක්‍රීඩා කළ ක්‍රීඩකයින්  කිහිපදෙනෙක් ද සිටීම ඉතා වටිනවා.” ඔහු පවසා සිටියා.

“නමුත් වසර හතරක් කියන්නේ අලුත් ක්‍රීඩකයින් ගොඩක්.”

“ගොඩක් දෙනෙක් කතා වෙනවා ශ්‍රේණිගත කිරීම්, ප්‍රබල කණ්ඩායම්, දුර්වල කණ්ඩායම් ගැන නමුත් වැදගත්ම කරුණ නම් තරගාවලිය කෙතරම් සමබර ද යන්නයි. එහි අදහස ඕනෑම දිනයක ඕනෑම දෙයක් සිදු විය හැකියි යන්නයි. ඒ නිසාම තරගාවලිය ඉතා උද්වේගකරයි.”

බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පවසා සිටියේ මෙම නව ආකෘතිය ඉතා ආකර්ෂණීය බවයි. “මෙම ආකෘතිය ඉතා විශේෂයි, ඉස්සර ඔබට අවස්ථාව ලැබෙන්නේ තරග පහ හයක් ක්‍රීඩා කරන්න පමණයි. මම ආකෘතිය නිසා ඔබට ගොඩක් අවස්ථාව ලබෙනවා.”

“සෑම කණ්ඩායමක් එක්කම ක්‍රීඩා කරන්නට ලැබීම විශිෂ්ටයි. අපි ගොඩක් මහන්සි වුනා තේරීම් තරගාවලියෙන් ලෝක කුසලානයට පිවිසෙන්නට. ඔබ දැන් ඉන්නේ ලෝක හොඳම කණ්ඩායම් 10 අතර, අපිට ඔවුන් ඔක්කොම එක්ක ක්‍රීඩා කරන්නට ඕන වගේම ඉතා හොඳින් ක්‍රීඩා කරන්නට ඕන.”

“ලෝක කුසලානය දිනන කණ්ඩායමට තමයි ලෝක කුසලානය අයිති.”

ශ්‍රී ලංකා නව නායක දිමුත් කරුණාරත්න මෙසේ පවසා සිටියා. “අපිට එංගලන්තයේ දී බොහොම සුන්දර අත්දැකීම් තිබෙනවා. අපි ගොඩක් කලින් එංගලන්තයට ආවා, ඒ නිසාම අපි දේශගුණයට හොඳින් හුරු වෙලා ඉන්නේ. කණ්ඩායම බොහොම හොඳින් පුහුණුවීම් කරනවා. අපේ උපරිමය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.”

“තරගාවලිය ලේසි වෙන්නේ නැහැ, අපිට විශ්වාසයක් තිබෙනවා තරගයෙන් තරගයට අවධානය යොදමින් ක්‍රීඩා කළොත් සාර්ථක වෙන්න පුළුවන් වෙයි කියලා.”

ඇෆ්ගනිස්තාන් නායක ගුලබ්දින් නයිබ් පවසා සිටියේ ලොව හොඳම කණ්ඩායම් සමඟ ක්‍රීඩා කිරීමට ඔවුන් ඉතා උවමනාවෙන් බලා සිටින බවයි.

“ඇෆ්ගනිස්ථානය ගැන ලෝකයට කියන්න මේ තමයි හොඳම අවස්ථාව, අපි බොහොම අපේක්ෂා සහගතව ඉන්නේ.”

“විවිධ පළාත්වලින් විශාල ප්‍රේක්ෂකයින් රැසක් අපේ තරග නරඹන්න එයි කියා අප විශ්වාස කරනවා ක්‍රිකට් ක්‍රීඩාවක් පමණක් නොවෙයි. ඇෆ්ගනිස්ථානයට එය ඊටත් වඩා වටිනා දෙයක්.”

අවසානයට අදහස් දක්වමින් බංගලාදේශ නායක මෂ්රාෆි මෝර්ටාසා පවසා සිටියේ අනෙක් කණ්ඩායම් පුදුම කරන්නට තමන් සූදානම් බවයි.

“අපිට හොඳ කණ්ඩායමක් සිටිනවා, ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ හොඳ සංකලනයක් තිබෙනවා.”

“ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක්, ඕනෑම දිනක ඕනෑම කණ්ඩායමක් වාසනාවන්ත වෙන්න පුළුවන්. අපි හොඳින් තරගාවලිය ආරම්භ කළහොත් අපිට තරගාවලියේ දුර ගමනක් යන්න පුළුවන් වෙයි.”

“අපිට විශ්වාසයි තරගාවලියේ  අපි හොඳින් කරයි කියලා, නමුත් ආරම්භය ඉතා වැදගත් වේවි.”

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<