දශකයේ රග්බි ක්‍රීඩකයා ඩෑන් කාටර්

100

ඩෑන් කාටර් යනු නම ඇසූ පමණින්ම මතකයට එන පුරාවෘත්තයකි. ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාවට සමුදී වසර 4ක් ගතව ඇතත් ඔහුගේ ක්‍රීඩා මතකයන් කිසිදා අමතක කිරීමට රග්බිලෝලීන්ට නොහැකි වනු ඇත. පසුගිය දා ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් දශකයේ රග්බි ක්‍රීඩකයා ලෙස ඩෑන් කාටර් නම් කළේය. 

මෙම තෝරා ගැනීම සඳහා මූලිකව ක්‍රීඩකයන් 16 දෙනෙකු නම් කර තිබූ අතර එහි අවසන් වටය දක්වා පැමිණ සිටියේ ඩෑන් කාටර් හා ඔහුගේ සගයා වූ රිචී මැකෝය. 

ඩෑන් කාටර් – මෙතෙක් ලොව බිහි වූ හොඳම අංක 10 ක්‍රීඩකයාගේ කතාව

ඩෑන් කාටර්ගේ ජීවිත කතාව ඇතුළත් ප්‍රලේඛන චිත්‍රපටයේ අවස්ථා කීපයක වීඩියෝවක් පසුගිය දා එළිදැක්වුනා…

ඩෑන් කාටර් කළු පැහැති නවසීලන්ත ඕල් බ්ලැක්ස් ‍රග්බි ජර්සිය අවසන් වරට හැඳ සිටියේ 2015 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී ය. ලෝක කුසලාන ජයග්‍රහණයකින් තම ක්‍රීඩා දිවිය නිමා කිරීමට ඔහු තීරණය කර තිබුණි. එම තරගය ට්විකන්හැම් හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්විය.

දශකයේ ක්‍රීඩකයා තෝරාගැනීමේ තරගාවලියේ දී මූලික වටවල දී ඩෑන් කාටර් විසින් ඒරොන් ස්මිත් (නවසීලන්තය), ඕවන් ෆැරල් (එංගලන්තය) හා නවසීලන්ත තරුවක් වන බවුඩන් බැරට් පරදවා තිබුණි. අවසන් තරගය පැවතියේ ඩෑන් කාටර් හා රිචී මැකෝ අතරය. 

මේ වන විට 37 හැවිරිදි කාටර් ලොව මෙතෙක් බිහි වූ දක්ෂතම ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා ලෙස අවිවාදයෙන් පිළිගත හැක. තම ක්‍රීඩා දිවිය තුල දෙවතාවක් රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කර ඇති කාටර්, තුන් වතාවක් Super Rugby Championship තරගාවලිය ජයග්‍රහණය කර ඇත. ඔහු ජයග්‍රහණය කර ඇති Tri-Nations රග්බි ශූරතා සංඛ්‍යාව 9කි. 

කිසිදු ක්‍රීඩකයෙකුට ලංවිය නොහැකි ජයග්‍රහණ වාර්තාවකට හිමිකම් කීමට කාටර් සමත්ව ඇත. ජාත්‍යන්තර රග්බි තරග 112කට ක්‍රීඩා කර ඇති කාටර් ඉන් තරග 99ක් ජයග්‍රහණය කර ඇත. එක් තරගයක් ජය පරාජයකින් තොරව අවසන්ව ඇත. පරාජය වූ තරග සංඛ්‍යාව 12කි. 

ලොව ක්‍රීඩකයෙකු විසින් ජාත්‍යන්තර තරගවල දී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව ද ඩෑන් කාටර් සතු වේ. ඔහු උත්සාහක දිනුම් 29ක්, ප්‍රවර්තන 293ක් හා දඬුවම් පහර 281ක් හා ඩ්‍රොප් ගෝල 8ක් වාර්තා කරමින් ජාත්‍යන්තර රග්බි ලකුණු 1598කට හිමිකම් කීමට සමත්ව ඇත. 

ඩෑන් කාටර් හා ඔහුගේ සමකාලීන ක්‍රීඩකයෙකු වූ රිචී මැකෝ නවසීලන්තය ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාවේ ඉහලින්ම ඔසවා තැබීමට සමත් විය. 

ඩෑන් කාටර් Super Rugby තරග 141ක් සඳහා ක්‍රීඩා කර ඇති අතර එහි දී ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1708කි. එය ද වාර්තාවක් ලෙස සටහන්ව ඇත. නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායමෙන් සමුගැනීමෙන් අනතුරුව ඩෑන් කාටර් යුරෝපා හා අනෙකුත් රටවල් කීපයකම රග්බි ලීග් තරගාවලි කීපයක් සඳහා එක්වූ අතර එහි දී ප්‍රංශයේ Racing 92 කණ්ඩායම හා ජපානයේ Kobelco Steelers කණ්ඩායම ප්‍රධානත්වයක් ගනී. 

තුන් වතාවක් ලෝක රග්බි සම්මේලනයේ වසරේ රග්බි ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වීමට ඩෑන් කාටර් සමත් විය. එමෙන්ම BBC වසරේ විදෙස් ක්‍රීඩකයා සම්මානය ද දිනා ගැනීමට ඩෑන් සමත් විය. 

පොලීසිය වටලන්න මහනුවර සමත් වෙයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිව්වැනි සතියේ තවත් තරගයක් පොලිස් ක්‍රීඩා සමාජය සහ …

ඩෑන් කාටර් සමඟින් දශකයේ ක්‍රීඩකයා සම්මානය සඳහා අවසන් වටයට පිවිසීමට රිචී මැකෝ සමත් විය. ඔහු මූලික වටවල දී දකුණු අප්‍රිකානු ප්‍රොප් ක්‍රීඩක ටෙන්ඩායි ම්ටවරීරා, ඉතාලි කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක සර්ජියෝ පැරීස් හා වර්ථමාන නවසීලන්ත නායක කයිරන් රීඩ් පරාජය කිරීමට සමත් විය. 

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<