සචිර සහ ධනජගේ අර්ධ ශතක වලින් රන් මහා සටන ඇරඹෙයි

16 වැනි රන් මහා සටන

262

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන 16 වැනි රන් මහා සටන අද (22) කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. දිනයේ නිමාව සටහන් වන විට ඩී. එස්. සේනානායක විද්‍යාලය මහානාම පළමු ඉනිමට වඩා තවත් ලකුණු 281ක් පසුපසින් සිටියා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඩී. එස්. සේනානායක නායක අභිෂේක් ලියනාරච්චිගේ ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් මහානාම විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 282ක් රැස් කරගෙන සිය පළමු ඉනිම අත්හිටවූවා.

එහි දී ඔවුන්ගේ පළමු කඩුලු 2ක ලකුණු 7ක් තුළ බිඳ වැටී තිබූ මොහොතේ නායක දෙවිඳු කැකිරිදෙනිය සමඟ එක්වුණු සචිර වැලිවත්ත යුගලය සිය අත්දැකීම් සහ පරිණත බව ප්‍රදර්ශනය කරමින් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 102ක අගනා සබඳතාවයක් ගොඩනැංවූවා. දෙවිඳු 4 පහර 4ක් එල්ල කරමින් ලකුණු 35ක් රැස් කරගත් අතර ඉනුක කරන්නාගොඩ (ලකුණු 45) සහ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක අංජල බණ්ඩාර (ලකුණු 42) ද මහානාම පළමු ඉනිමේ මැදපෙළ සවිමත් කළා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු දකුණතින් පිතිකරණයේ නිරත වන සචිර 4 පහර 7ක් සහ එක් 6 පහරක් සමඟ පන්දු 143ක දී ලකුණු 89ක් රැස් කරගෙන සිටිය දී දැවී ගියා. දේශාන් හෙට්ටිගේ යොමු කළ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ඒ කඩුල්ල දැවී ගිය අතර එම නිසා ඩී. එස්. සේනානායක විද්‍යාලයට සචිරගේ ශතකය අහිමි කිරීමට හැකිවුනා.

මහානාම විද්‍යාලය වෙනුවෙන් 6 වැනි කඩුල්ල සඳහා තවත් අර්ධ ශතක සබඳතාවයක් ගොඩනැංවූ ඉනුක සහ ධනජ එදිරිසිංහ පන්දු 40ක දී වේගවත් ලකුණු 68ක සබඳතාවයක් ගොඩනැංවූවා. මහානාම ඉනිමේ දෙවැනි අර්ධ ශතක ලාභියා වුනු ධනජ පන්දු 29ක දී වේගවත් ලකුණු 53*ක් වාර්තා කරගත්තේ 4 පහර 8ක් සහ එක් 6 පහරක් එල්ල කරමින්. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක අදීශ බණ්ඩාරනායක කඩුලු 2ක් දවා ගත්තා.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා පළමු දිනයේ සවස් කාලය තුළ පන්දුවාර 30ක් ක්‍රීඩා කිරීමට නොහැකි වුනු අතර සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් දිනය නිමා වන විට කිසිවෙකු නොදැවී එක් ලකුණක් වාර්තා කරගෙන සිටියා.

ලකුණු සාරාංශය,

මහානාම විද්‍යාල පළමු ඉනිම – 282/6d (60): සචිර වැලිවත්ත 89, ධනජ එදිරිසිංහ 53*, ඉනුක කරන්නාගොඩ 45, අංජල බණ්ඩාර 42, අදීශ බණ්ඩාරනායක 2/57.

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 1/0 (2):

මෙම තරගය හෙට (23) දෙවන දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම තරගයේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<