ක්‍රිකට් ක්‍රීඩකයන්ට සංග්‍රාම නැවැත්විය හැකිය

2785

අපි මහා ක්‍රිකට් සංග්‍රාම සහ ක්‍රිකට් සටන් අගයන කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටින්නෙමු. එහෙත් ක්‍රිකට් සංග්‍රාම වලට වඩා දුර ඇදී යා හැකි ඇතැම් මානසික සංග්‍රාම අවසන් කළ යුතු වන්නේ ක්‍රිකට් පිටියෙන්ම උපන් ශ්‍රේෂ්ඨයන් විසිනි. 

ලෝකය දිනෙන් දිනම අවදානම් කලාපයක් වෙමින් පවතියි. එක් පැයකින් මහ නගර පවා සමතලා කළ හැකි අවි ආයුධ, න්‍යෂ්ටික මිසයිල, තමන්ට “මරන්නට බලය” ලැබෙන්නේ කොයි මොහොතේ දැයි මාන බලමින් සිටියි. එහෙත් ලොව අනෙක් පසින් ඒ අවි ආයුධ මර්දනය කරමින් සිටින්නේ කලාව සහ ක්‍රීඩාවයි. දකුණු ආසියානු කලාපයට වඩාත් සංවේදී ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවයි.

කලාපීය බලය

www.24point0.com

දකුණු ආසියාව, ලෝකයේ දේශපාලනික මර්මස්ථානයකි. එහි ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය, වේගයෙන් දියුණු වන ආර්ථිකයන්, ආසියාවේ පැරණිතම වරාය, ලොව පැරණිතම ශිෂ්ටාචාර, සංස්කෘතික කලාප, ලොව වැදගත්ම පාරිසරික කලාප මෙන්ම ලොව න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකුගේ ද නිවහනකි. එමෙන්ම එය ක්‍රිකට් ක්‍රීඩාවේ ද ප්‍රබල රටවල් තුනකගේ නැත්නම් හතරකගේ සාමාජිකත්වය සහිත කලාපයකි.

ඉහත සඳහන් කළ වාසි (ඇතැම් විට අවාසි) නිසාම ලොව බලවතුන්ගේ නිරන්තර ඇල්ම බැල්ම මේ වෙත යොමුවෙයි. දකුණු ආසියානු කලාපයට බාහිර සාධක විසින් කෙතරම් බලපෑම් කළ ද, ඊටත් වැඩි බලපෑමක් සිදුකරන්නේ අදාළ රටවල් වල දේශපාලකයන් විසින් වීම දක්නට ලැබේ. තමන්ගේ පටු දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමේ අභිලාශයෙන් ඕනෑම දෙයක් පාවාදෙන දේශපාලකයන් දකුණු ආසියානු රටවල් අටෙහිම සිටින අතර ඔවුන් වරින් වර කරන ප්‍රකාශයන් සහ වරින් වර ගෙන එන දේශපාලනික සැලසුම් අදාළ රටවල් වලට පමණක් නොව සමස්ත ලෝකයාටම බලපෑ හැකිය.

ක්‍රීඩාව සහ දේශපාලනය එකිනෙකට සමාන්තරව ගමන් කිරීම දකුණු ආසියාවටම පොදු කරුණකි. ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ, පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්ම මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීන් හෝ ප්‍රාදේශීය මන්ත්‍රීන් වේ. එමෙන්ම ක්‍රීඩාවේ අභ්‍යන්තරයට කෙරෙන දේශපාලන අතපෙවීම් සම්බන්ධව ද වරින් වර අසන්නට ලැබේ. සාමාන්‍යයෙන් රටක ක්‍රීඩාව සහ දේශපාලනය එක්වෙන්නට ගියහොත් එය ක්‍රීඩාවට එතරම් හිතකර නොවුනත් ක්‍රීඩකයන් විසින් දේශපාලනයත්, දේශපාලකයන් විසින් ක්‍රීඩාවත් හසුරුවන බුද්ධිමත් අවස්ථාවන් ද නැතුවාම නොවේ. රටේ සාමයට සහ ලෝක සාමයට වැදගත් වන්නේ එවන් සීමිත බුද්ධිමතුන් පිරිස ය.

ලාංකිකයන්ට බෝම්බ ගැසීම

2009 වර්ෂයේ මුල වන විට ශ්‍රී ලංකාව තුළ දරුණු යුද්ධයක් පැවතිණි. යුද්ධයේ අවසන් කාලය තුළ දකුණු ආසියානු කලාපය පුරාම ත්‍රස්තවාදය හා සම්බන්ධ ගැටලු උද්ගත වන්නට විය. එහි දේශපාලනික මුහුණුවර ගැන වෙනම සාකච්ඡා කළ හැකිය. එහෙත් මෙය ක්‍රීඩාවට සම්බන්ධ වන තැන් අල්ලා ගන්නට වෙහෙසෙමු.

“ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය ගැන පරීක්ෂණයක් නැත්තේ ඇයි?” – සංගක්කාර ප්‍රශ්න කරයි

ක්‍රීඩා කණ්ඩායම් සහ ගෝලීය දේශපාලනය අතර ඇති සම්බන්ධය ඉතාමත් කිට්ටු එකක් බව පැහැදිලි වන සිදුවීම් කිහිපයක්ම ඉතිහාසයෙන්…

2009 දී ම මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය ඉන්දියාවට එල්ල විය. ඉන් පසුව ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට භීතිය කැඳවාගෙන පැමිණියේ 2009 මාර්තු 3 වැනිදා සිදු වූ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයයි. පාකිස්තානයේ ටෙස්ට් සංචාරයක නිරත වෙමින් සිටි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එල්ල වූ එම ප්‍රහාරයෙන් ක්‍රීඩකයන් 7 දෙනෙකුට පමණ තුවාල සිදු විය. ඔවුන්ගේ වාසනාවට ඔවුන් එම දේශපාලනික උපක්‍රමයෙන් අවසන් වූ ජීවිත නොවිණි. ඒ ඔවුන්ගේ බසයේ රියදුරු වූ පාකිස්තානු ජාතික මෙහෙර් කලීල්ට පින් සිදුවන්නට ය.

කුමාර් සංගක්කාරගේ ඇඟිලි 5

කුමාර් සංගක්කාර මෙරටින් බිහි වූ ජාත්‍යන්තර ක්‍රිකට් සලකුණ යැයි කීවාට වරදක් නැත. ඔහුගේ දක්ෂ කතා විලාශය යොදාගෙන ඔහු පතුරුවන්නේ කසිකබල් නොව, සාමයයි.

ලාහෝර් සිද්ධියෙන් වසර දෙකකට පසුව, එනම් 2011 දී MCC කව්ඩ්රි දේශනය කිරීමට ආරාධනා ලැබුවේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරයි. එහිදී කුමාර් විසින් සිදු කළ කතාවේ දී ඔහු මේ සිද්ධියෙහි ත්‍රාසය සිහිකළේය. ඔහු එතැනින් නැවතුනේ නැත.

“අපට තේරුණා අපේ සමහර ශ්‍රී ලාංකිකයන් අවුරුදු 30ක් පුරා හැමදාම මේ අත්දැකීම විඳපු බව. අපට වෙඩි තැබුවා, අත් බෝම්බ ගැහුවා, තුවාල වුනා. ඒත් අපි වැටුණේ නැහැ.” ඔහු එදා කීවේය.

ත්‍රස්ත ප්‍රහාරයක අත්දැකීමක් ලද වැඩිහිටියෙකු වශයෙන් ඔහු අවසානයේ දී කියා සිටියේ,

“වෙනස් ජාතීන්, ආගම්, කුලයන් වල ප්‍රේක්ෂකයන් ඒ වෙනස්කම් සමරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් එකතු වීමෙන්. ඔවුන් තමයි මගේ පදනම. ඔවුන් මගේ පවුලයි.” යනුවෙනි. යුද්ධ වෙනුවෙන් මිනිසුන් කුලප්පු කිරීමට හැකිවන්නේ ඔවුන්ට එකට ජීවත් වීමට ඇති නොහැකියාව නිසාය. අනෙකාගේ වෙනස්කම් ඉවසන්නට ඇති නොහැකියාව නිසාය. ඒ නොහැකියාව ඇතිවන්නේ උපතින් නොවේ. එය ඇතිවන්නේ දුෂ්ට වැඩිහිටියන් විසින් දුෂ්ට තරුණයන් සහ දුෂ්ට තරුණයන් විසින් දුෂ්ට දරුවන් නිර්මාණය කිරීමෙනි.

නොයෙක් වර මිනිසුන්ගේ සිත් එක්කිරීමට කුමාර් ඔහුගේ චතුර වාග් විලාශය භාවිතා කළේය.

2019 ජාත්‍යන්තර පාඨශාලාන්තර ක්‍රීඩා උළෙලේ දී (ISAC) ඔහු මෙසේ කීය.

“ඔබේ අනන්‍යතාව තමයි වැදගත්ම දේ. පුද්ගලයෙකු හැටියට ඔබව නිර්වචනය කරන්නේ එය විසින්. අද ඔබ ඔබේ පන්තියේ නෙමෙයි සිටින්නේ. අද ඔබ එළිමහනේ සිටින්නේ ඔබේ වයසේ අනෙක් අයත් සමඟින් ඇත්තම මානුෂීය බැඳීම් ගොඩනගාගනිමින්. ඔබට ඔබව වඩාත් හොඳ කෙනෙක් කරගැනීම සඳහා, එකිනෙකාගෙන් ඉගෙන ගැනීම සඳහා එය යොදාගන්න පුළුවන්.”

“ලංකාවේ ඉන්නවා බෞද්ධයන්, ක්‍රිස්තියානුවන්, මුස්ලිම්වරුන්, හින්දු ජාතිකයන්, සිංහල, දෙමළ, මැලේ, බර්ගර් අය. ඔබට ඔවුන්ගෙන් වෙන්වෙලා ජීවත් වෙන්න බෑ. අපි හැමෝම සම්බන්ධයි. ඒ හැමෝමත් ඔබ වගේම බලාපොරොත්තු, සිහින, අරමුණු තියෙන අය.”

ඇතැම් විට එතැන සිටි දරුවන්ගෙන් සිත තුළ සැක සහ සංග්‍රාම නිර්මාණය කරගෙන සිටි කිහිප දෙනෙකුවත් ඉන් පණිවුඩයක් ලබා ගන්නට ඇත.

ඉන්පසුවත් පාසල් උළෙලකට සහභාගී වෙමින් කුමාර් පාසල් සිසු සිසුවියන්ට ක්‍රියාකාරකමකින් “සමගිය” පැහැදිලි කළේය. එක් ඇඟිල්ලකින් අනෙක් අත්ලට තට්ටු කරන්නට ඔවුන්ට ආරාධනය කළ කුමාර්, තට්ටු කරන ඇඟිලි ගණන කෙමෙන් වැඩි කරන්නට ඔවුනට උපදෙස් දුන්නේය. ඇඟිලි වැඩිවන විට ශබ්දය වැඩි බව පැවසූ කුමාර්, ඒ ඇඟිලි විවිධ ජාතීන්ට උපමා කළහොත්, “වැඩි බලයක් වන්නට නම් එකාමෙන් සිටිය යුතුය” යන්න පැහැදිලි කළේය.

ඉම්රාන්ගේ පැමිණීම

පසුගිය සතිය තුළ දී ඇතිවන්නට ගිය කලාපීය යුද්ධයකට තිත තැබුවේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ය. ඔහු ඒ වෙත පැමිණියේ කෙසේ ද?

පාකිස්තානයේ ලාහෝර් නුවර ඉපිද අධ්‍යාපනය ලබා පසුව එංගලන්තයට ගොස් වූස්ටර් රාජකීය පාසලෙන් ද අධ්‍යාපනය ලද ඉම්රාන් වයස අවුරුදු 18 දී ම පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට සුදුසුකම් ලැබුවේය. කුඩා කල සිටම නායකත්ව දක්ෂතා ප්‍රකට කළ ඉම්රාන්, මෙතෙක් පාකිස්තානය විසින් ජයග්‍රහණය කළ එකම ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමේ මෙහෙවරෙහි ප්‍රධානත්වය ගත් නායකයා ය.

ඉම්රාන් හට 1987 සිට නොයෙක් දේශපාලන පක්ෂවලින් ආරාධනා ලැබෙන්නට විය. එහෙත් ක්‍රීඩකයෙකු ලෙස ඔහුට ඒවා පිළිගැනීමේ සදාචාර සම්පන්න අයිතියක් නොමැති බව ඉම්රාන් විසින් වටහාගෙන තිබුණි. එහෙත් ටෙස්ට් ලකුණු 3000 සහ කඩුලු 300 සමාජයට ඇතුළත් වූ එකම පාකිතානුවා ලෙස ද, 1992 ලෝක ශූර ක්‍රිකට් නායකයා ලෙස ද තම ක්‍රිකට් දිවිය අවසන් කළ ඉම්රාන් ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසෙමින් 1996 දී Pakistan Tehreek-e-Insaf (PTI) නම් පක්ෂය නිර්මාණය කළේය.

එතැන් සිට නොයෙක් හොඳ / නරක මැදින් ඇවිද ආ ඉම්රාන් හට අගමැති පදවිය කරා පැමිණීමට වසර 22ක් ගතවිය. ඒ 2018 මහා මැතිවරණයේ දී ජයග්‍රහණය ලබමිනි. ඒ වන විට පාකිස්තානය තලෙයිබාන් ත්‍රස්ත කල්ලිය සහ තවත් කුඩා ත්‍රස්ත කල්ලීන් කිහිපයක් නිසා ජාත්‍යන්තරය ඉදිරියේ දෝෂදර්ශනයට ලක්වූ කාලයකි. පාකිස්තානය මානුෂීය රාජ්‍යයක් බවට පත්කරන බවට ඔහු ප්‍රතිඥා දුන්නේය. එය සපථ කරන්නට ඔහුට කාලය උදාවන්නේ අගමැති පදවියෙහි දිවුරුම් දී තවත් මාස 7ක් පමණ ඉක්මයද්දී ය.

ඉම්රාන්ගේ රාජ්‍ය තාන්ත්‍රික දස්කම්

ඉම්රාන්ගේ නායකත්වයත් සමඟින් ඉන්දියානු – පාකිතානු දේශපාලනික අර්බුදය සමථයකට පත්වීමේ ලකුණු පහලවීමත් සමඟ කුමන හෝ දේශපාලන පක්ෂයක් විසින් හෝ කණ්ඩායමක් විසින් ත්‍රස්ත කල්ලියකට මුදල් පොම්ප කොට ඉන්දියානු සෙබළුන්ට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරවීය. ඉන්දියානු සෙබළුන් 40 දෙනෙකුට වැඩි පිරිසක් මියයාමෙන් පසුව ඉන්දියාව පවසා සිටියේ තමන්ගේ රටට පාකිතානුවන්ව පිළිනොගන්නා බවයි.

2019 ජුනි මස පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ දී පාකිස්තාන තරගයට සහභාගී වීමේ හෝ අවශ්‍යතාවයක් නොමැති බව ඉන්දියාව පැවසුවේය. පාකිස්තානයට ගුවන් ප්‍රහාර ද එල්ල කළේය. තමන්ගේ ගුවන් සීමාවට පැමිණි ඉන්දියානු ගුවන් යානා දෙකක් බිම හෙලීමට පාකිස්තානුවන් සමත් වූ අතර එය සැලසුම් කළ සියලු දෙනා බලාපොරොත්තු වූයේ දෙරට අතර ඉක්මන් යුද්ධයකි. එහෙත් ඉම්රාන්ගේ නායකත්ව ගුණය ඉදිරියට පැමිණ සටනක සලකුණු මකා දැමුවේය.

“මේ සිද්ධියට කවුරුන් හෝ පාකිස්තානුවෙකු සම්බන්ධ ද කියලා අපි පරීක්ෂණය කරනවා. අප අවගණනයක් සිදු කළ යුතු නැහැ. ඉතිහාසයේ සෑම යුද්ධයක්ම ඇරඹී තිබෙන්නේ අවගණනය (miscalculation) කිරීම නිසයි. කවුරුත් හිතුවේ නෑ සිදුවෙන දේවල් වලින් අනාගතයේ දී මොන තරම් දේවල් සිදු වේවි ද කියා. ඉතින් ඉතිහාසය අපට කියන්නේ අවගණනය නොකරන ලෙසයි. මම ඉන්දියාවට කියනවා, අප දෙගොල්ලන්ටම තිබෙන ආයුධත් එක්ක (න්‍යෂ්ටික) අපට අවගණනයක් වෙන්න දෙන්න පුළුවන් ද?”

මෙය ජාත්‍යන්තර මාධ්‍ය වෙතට ගලා ගියේ සුළි සුළඟක වේගයෙනි. යුද්ධ සහ සංග්‍රාම ලොවට තවත් අනවශ්‍ය ය. අපට දැනට තිබෙන අර්බුදයන්වත් ලිහාගැනීමට නොහැකිව අප තැවෙනවා නොවේ ද?

එමෙන්ම පාකිස්තාන අත්අඩංගුවට පත්වූ එක් ගුවන් යානයක පියාසරකරු අභිනන්දන් වර්දමාන් නම් ගුවන් භටයා කෙරෙහි ඉම්රාන් භාවිත කළ පියවර ඉතාම උපායශීලී මෙන්ම දක්ෂ ය. ඉන්දියානු භටයාට ආගන්තුක සත්කාර ලබා දුන් පාකිස්තානු සෙබළුන් ඔහුගේ පවුලට පණිවුඩයක් ද යැව්වේය. ඒ සාමාන්‍යයෙන් යුධ සිරකරුවෙකුගේ නිවසට යවන පණිවුඩයක් ආකාරයෙන් නොවේ. “ඔබේ පියා ගෙදර ඒවි” අභිනන්දන්ගේ පුතුට පාකිස්තානු හමුදාවෙන් ලැබුණු පණිවුඩය එයයි.

පොරොන්දු වූ පරිදි අභිනන්දන්ව “සාමයේ සලකුණක්” ලෙසින් යළි ඉන්දියාවට භාර විය. ජාත්‍යන්තරය හමුවේ පාකිස්තානය වැටී සිටි තත්වයෙන් ගව් ගණනක් ඉහළට ඔවුන්ගේ තත්වය සහ පිළිගැනීම ඉහළ ගියේය. ඒ සියල්ලට වඩා යුද්ධයක අනතුර කෙමෙන් පහව යමින් පවතියි.

එමෙන්ම ට්විටර් ඔස්සේ බුද්ධිමත් ක්‍රිකට් ක්‍රීඩකයන් රාශියක් මේ පිළිබඳව තම අදහස් දක්වා තිබිණි. ඉම්රාන් ඛාන්ගේ කණ්ඩායම් සගයෙකු වූ වසීම් අක්‍රම් ඉන් එක් අයෙකි.

“ඉතාම කරුණාබරව මම ඉන්දියානුවන්ට පවසන්නේ, පාකිස්තානය ඔබේ සතුරා නොවෙයි. ඔබේ සතුරා අපේත් සතුරායි. අප දෙදෙනාම සටන් වදින්නේ එකම සතුරෙකුට එරෙහිව බව තේරුම් ගන්නට අපට තව කෙතරම් ලේ හලන්නට සිදු වෙයි ද? ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී අපට ඔබේ සහෝදර දෑතත් අවශ්‍යයි.” වසීම් අක්‍රම්ගේ සඳහන වූයේ එසේයි.

එමෙන්ම ශ්‍රී ලාංකික විස්තර විචාරක රසල් ආනෝල්ඩ් විසින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය ගැන කොතෙකුත් ධනාත්මක අදහස් ට්විටර් මත පළකෙරෙනු අප දැක ඇත. ක්‍රිකට් ක්‍රීඩකයන් යනු ජාත්‍යන්තර සලකුණු ය. ඔවුන් දෙස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ දෑස් යොමුවන අතරම දහසක් දෙනා ඔවුන්ව අනුගමනය කරන්නන් ය. එබැවින් මෙලොව වනසන යුද්ධ සහ අනවශ්‍ය දේශපාලන මත ගැටුම් පාලනය කිරීමට ඔවුන්ගෙන් ලැබිය යුතු සේවය අති මහත් ය. පසුගිය සතිය තුළදී යළිත් පැහැදිලි වූයේ එම අවශ්‍යතාවය සහ එහි වටිනාකමයි. යුද්ධයම බදාගෙන එය වින්දනය කරන්නන්, ඒ මත ජීවත් වන්නන් අන්ධයන් සේ සිටිය දී ලොවට වැදගත් වන්නේ යුද්ධයට පිටින් ප්‍රශ්න විසඳාගත හැකි බුද්ධිමතුන් ය. ක්‍රිකට් ක්‍රීඩකයන්ට එවැනි බුද්ධිමතුන් විය හැකිය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<