ඇඳුම් උනා දැමිය යුත්තේ කාගේද?

549
Stadium labourers stripped

ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ක්‍රීඩාංගණයේ සේවකයන් තිරය පිටුපස සිට ලබාදෙන සේවය අමතක කළ නොහැක්කකි. එහෙත් පසුගියදා හම්බන්තොටදී ඒ සේවයට උරදුන් කම්කරුවන්ට ලබන්නට වූ අත්දැකීම අතිශය ඛේදජනක එකක් විය.

පසුගියදා නිමාවූ ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලියේදී සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය තුළ තාවකාලික කුලී පදනම මත සේවයෙහි නිරත වූ සියයකට අධික කම්කරුවන්ට පස්වැනි එක්දින තරගය අවසානයේදී තම දෛනික වැටුප ලබාගැනීමට සිදුවූයේ තම කලිසම් උනා දමමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ලබාදී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ලාංඡනය සහිත කලිසම් මෙසේ නැවත ලබාගැනීම නිසා කම්කරුවන් දැඩි අපහසුතාවයකට ලක්විය.

ලබාදී තිබූ කලිසම් නැවත ලබාගන්නා බවට ඔවුන්ව පෙර දනුවත්කිරීමක් කර නොතිබූ බැවින් කිසිදු කම්කරුවෙකු අමතර කලිසමක් ක්‍රීඩාංගනය වෙත රැගෙනවිත් නොතිබුණි. අනෙක් අතින් ගත්කල මේ ඔවුන් දින හයක් පුරාවට හැඳ සේවය කරන ලද කලිසම් ය. මේ පිළිබඳව අදාළ සේවකයන් දැඩි නුරුස්නාවෙන් අදහස් පළකරනු අසන්නට ලැබිණි.

කෙසේ වෙතත් මූල්‍ය බංකොලොත්භාවයක් හෝ වෙනත් අපහසුතාවයක් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්තා නොවන පසුබිමකදී දින හයක් පුරා භාවිත කළ සේවකයන්ගේ කලිසම් උනා දැමීමෙන් කෙතරම් මුදලක් ඉතිරි කර ගත හැකි දැයි අපටද ගැටලුවකි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට