අයහපත් ආලෝකය තත්වය තෝමසුවන්ගේ ජය වළක්වයි

207
138th-Battle-of-the-Blues-final-day

පැය දෙකකටත් අධික කාලයක් පැවති අයහපත් ආලෝක තත්වයත්, අතොරක් නැතිව ඇද හැලුණු පොද වැස්සත් නිසාවෙන් තරග උණුසුම සේදී ගිය 138 වැනි නිල් මහ සටන අද (11) ජය පරාජයෙන් තොරව නිමා විය. ඒ අනුව ගියවර පැවති නිල් මහ සටනේ දී රාජකීය විද්‍යාලය දිනා ගත් ශූරතා කුසලානය තමන් සතු කර ගැනීමේ අදිටනින් පිටියට පිවිසි තෝමසුවන්ට අද තම බලාපොරොත්තු සඵල කර ගැනීමට හැකි වූයේ නැත.

සාන්ත තෝමස් පිතිකරුවන් රාජකීය ප්‍රථම ඉනිම සම කරයි

වසරකට එක් වරක් පමණක් පැවැත්වෙන මහා ක්‍රිකට් උත්කර්ෂයක අසිරිය විඳ ගැනීමේ අරමුණින් අද (10) කොළඹ SSC පිටියට රැස්වූ දහස් සංඛ්‍යාත…

අද උදෑසන තරගය ආරම්භ කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 255ක් ලබාගෙන සිටි සාන්ත තෝමස් විද්‍යාලය, රාජකීය ප්‍රථම ඉනිම හා සම තත්වයේ පසුවුනු අතර ඊයේ දිනයේ නොදැවී අර්ධ ශතකයක් ලබාගෙන සිටි සිතාර හපුහින්න අද දිනයේ ප්‍රථම කඩුල්ල ලෙස දැවී ගියේය. ඒ රාජකීය නායක හේලිත විතානගේ යැවූ පන්දුවක් සිතාරගේ පිත්තේ අග්‍රයක වැදී තර්ඩ්-මෑන් කලාපයේ සිටි ක්‍රීඩකයා උඩ පන්දුවක් ලෙසින් රැක ගැනීමත් සමඟයි.

සාන්ත තෝමස් විද්‍යාලයේ නායක රොමේෂ් නල්ලපෙරුම ඊයේ දිනයේ ලබා ගත් ආරම්භය දැවැන්ත ඉනිමක් කරා පරිවර්තනය කර ගැනීමට අද සමත් විය. තෝමස් මැදපෙළ පිතිකරුවන්ගේ ද සහය ලබාගත් රොමේෂ් අද පන්දු 130කදී හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 92ක් රැස් කළේය. රොමේෂ් සමඟින් ලකුණු සබඳතා ගොඩ නැගීමට දායක වූ ඉශේන් පෙරේරා සහ මන්‍තිල විජේරත්න යන පිතිකරුවන් දෙදෙනාම දවා ගැනීමට හිමේෂ් රාමනායකගේ වේග පන්දුව සමත්කම් දැක්වූ අතර ඔහු අද ලකුණු 103කට කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් විය. කෙසේ වෙතත් ඊයේ දිනයේ රවිඳු කොඩිතුවක්කු ක්‍රීඩා කල විශිෂ්ට ඉනිමත් අද රොමේෂ්ගේ පිත්තෙන් ලැබුණු දායකත්වයත් නිසා තෝමස් ප්‍රථම ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 357ක් ලෙස සටහන් වන විට අත්හිටුවන්නට නායකයා තීරණය කළේය.

ඒ අනුව දිවා විවේකයට පෙර ලකුණු 102ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ රාජකීයයන්ට දැවැන්ත ගැටලුවක් ඇති කරමින් ඔවුන්ගේ කඩුලු 2ක්ම ලකුණු 23ක් වෙද්දී අහිමි විය. ඒ අතරට පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය ආරම්භක පිතිකරු රෝනුක ජයවර්ධනගේ කඩුල්ල මෙන්ම ගියවර මහා ක්‍රිකට් තරගයේ ශතකයක් රැස්කල පසිඳු සූරියබණ්ඩාරගේ කඩුල්ල ද ඇතුළත් විය.

[rev_slider dfcc728]
.

දිවා විවේකයෙන් අනතුරුව රාජකීය ඉනිමේ කඩුල්ලෙන් කඩුල්ල දවාලමින් ජයග්‍රහණයට ආසන්න වීමට තෝමසුවන් ප්‍රබල උත්සාහයක් ගත් අතර තෙවින් ඊරියගම ක්‍රියාත්මක කල පන්දුවාර දෙකක දී හේලිත විතානගේට සහ යුවින් හේරත්ට තම කඩුලු අහිමි විය. ඉන් අනතුරුව වමත් දඟ පන්දු යවන ක්‍රීඩක පවිත් රත්නායක කවිඳු මදරසිංහගේ කඩුල්ල දවා ගැනීමත් සමග රාජකීය ඉනිම ලකුණු 61කට කඩුලු 5ක් දැවී අසරණ තත්වයට පත්විය. එවන් අවස්ථාවක පිටියේ එක්වුනු තවමත් 15 වැනි වියේ පසුවන තෙවිඳු සේනාරත්න සහ අහන් වික්‍රමසිංහ හයවැනි කඩුල්ල වෙනුවෙන් සටන්කාමී ලකුණු 68ක් එක්කිරීමට සමත් වූයේ තම කණ්ඩායම ඇද වැටී තිබූ අසීරු තත්වය තරමක් දුරට සමනය කරමිනි. රවිඳු කොඩිතුවක්කුගේ පන්දුවක් හමුවේ වික්‍රමසිංහ දැවී යන විට ඔහු ලකුණු 31ක් රැස් කරගෙන සිටියේය.

සේනාරත්න හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමගින් තම වේගවත් අර්ධ ශතකයක් වෙත ලඟා වූ නමුත් ඉන් අනතුරුව කළණ පෙරේරාගේ පන්දුවක් හමුවේ දැවී යාමට සිදු විය. ඒ තෝමස් නායක රොමේෂ් නල්ලපෙරුම ලෙග්-ස්ලිප් කලාපයේ සිට ගුවනේ පාවී ගොස් රැක ගත් විශිෂ්ට උඩ පන්දුව නිසාවෙනි. ගනිත් සන්දීපගේ ඉනිම රත්නායකගේ විශිෂ්ට පන්දුවක් හමුවේ නිමාව දුටු අතර ඒ වන විට රාජකීය ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 154ක් ලෙස සටහන් විය. කෙසේ වෙතත් පස්වරු 3.35 පමණ වන විට SSC පිටියට අඳුර ගලා ඒම නිසා විනිසුරුවරුන් තරගය නතර කිරීමට තීරණය කළහ. පස්වරු 4.50 පමණ වන විට තරගය නිල වශයෙන් නිමා කෙරුණු අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ පැරණිතම මහා ක්‍රිකට් තරගයේ 138වැනි අදියර ජය පරාජයෙන් තොරව අවසන් විය.

රාජකීය විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 255 (පන්දුවාර 71.3): රෝනුක ජයවර්ධන 32, පසිඳු සූරියබණ්ඩාර 35, කවිඳු මදරසිංහ 38, හිමේෂ් රාමනායක 41, ගනිත් සන්දීප 42, කළණ පෙරේරා 5/47, පවිත් රත්නායක 2/69.

සාන්ත තෝමස් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 357 (පන්දුවාර 93.1): රවිඳු කොඩිතුවක්කු 98, දුලිත් ගුණරත්න 35, සිතාර හපුහින්න 59, රොමේෂ් නල්ලපෙරුම 90*, හිමේෂ් රාමනායක 4/103, මනුල පෙරේරා 2/56, හේලිත විතානගේ 2/81.

රාජකීය විද්‍යාලය (දෙවන ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 154 (පන්දුවාර 41.2): කවිඳු මදරසිංහ 25, අහාන් වික්‍රමසිංහ 31, තෙවිඳු සේනාරත්න 50, කළණ පෙරේරා 2/60, තෙවින් ඊරියගම 3/46, පවිත් රත්නායක 2/11.

පුද්ගල සම්මාන

  • තරගයේ වීරයා – රොමේෂ් නල්ලපෙරුම (STC)
  • හොඳම පන්දු යවන්නා – කළණ පෙරේරා (STC)
  • හොඳම පිතිකරු – රවිඳු කොඩිතුවක්කු (STC)
  • හොඳම පන්දු රකින්නා – මන්තිල විජේරත්න (STC)

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට