බංග්ලාදේශය කොදෙව්වන්ට අනතුරු අඟවයි

124

අයර්ලන්ත තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටිය දී ම පළමු වටයේ තරගයක දී ප්‍රතිවාදීන් එකිනෙකා හමු වූ අවස්ථාවේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් කඩුලු 5කින් පරාජය කිරීමට බංග්ලාදේශය සමත් විය.

විනිසුරු තීරණයට උරණ වූ පොලාර්ඩ්ට වැඩ වරදී

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩාය…

මෙම තරගයේ ජයග්‍රහණත් සමගින් බංග්ලාදේශය තරගාවලියේ මූලික වටයේ පැවති තරග දෙකේ දී ම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ පරාජය කිරීමට සමත් වීම කැපී පෙණුනි. ඔවුන් අතර පැවති පළමු තරගයේ දී බංග්ලාදේශය කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගත්තේ ය. කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වෙන අවසන් මහා තරගය මේ මස 17 වැනිදා පැවැත්වීමට නියමිත ය.

ඊයේ (13) ඩුබ්ලින් හි දී නිමා වූ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 247ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 5ක් සහ තවත් පන්දු 16ක් ඉතිරිව තිබිය දී ලකුණු 248ක් ලබා ගත් හ.

කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම වෙත ලබා ගත්තේ ය. ඒ අනුව පිටියට පිවිසි බටහිර ඉන්දිය කොදෙව් ආරම්භක පිතිකරු ශායි හොප් පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 87ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු වාර්තා කරන්නා වූයේ ය. එය ඔහුගේ එක්දින තරග දිවියේ 9 වැනි අර්ධ ශතකයයි. ඔහු 5 වැනි කඩුල්ල ලෙසින් දැවී යන විට කොදෙව් ලකුණු පුවරුව ලකුණු 199 රැඳී තිබුණි.

අනතුරුව ඉනිමේ කතා බහ කෙරෙන ඉනිමක් ක්‍රීඩා කළේ නායක ජේසන් හෝල්ඩර් ය. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ එක්දින තරග දිවියේ 8 වැනි අර්ධ ශතයයි.

දකුණු අප්‍රිකානුවන්ට මෙවරත් අවාසනාව හරස් වේවි ද?

නොබෝ දිනකින් ඇරඹීමට නියමිත ලෝක කුසලාන…

ශායි හොප් සහජේසන් හෝල්ඩර් එක්ව කොදෙව් ඉනිමේ 5 වැනි කඩුල්ලට පන්දු 113ක දී ලකුණු 100ක සබඳතාවක් එක් ක‍රමින් ඉනිම ශක්තිමත් කළ ද අනෙකුත් පිතිකරුවන් දැක්වූ දුර්වලතා හේතුවෙන් කොදෙව් ඉනිම කඩා වැටුණි.

ඔවුන් දෙදෙනාට අමතරව සුනිල් අම්බ්‍රිස් (23), රොස්ටන් චාස් (19) සහ ඈශ්ලි නර්ස් (14) ඉලක්කම් දෙකේ ලකුණු රැස් කළ ද අනෙකුත් කිසිවෙක්ටත් ලකුණු 10 සීමාවට පැමිණීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත.

පන්දු යැවීමේ දී මුස්ටෆිසුර් රාහ්මන් ලකුණු 43කට කඩුලු 4ක් දවා ගනිද්දී නායක මෂ්රෆි මොර්ටසා ලකුණු 60කට කඩුලු 3ක් දවා ගත්තේ ය.   

බංග්ලාදේශය ඉනිම ආරම්භයේ සිටම බටහිර ඉන්දීය කොදෙව්වන්ට කිසිදු සැනසීමක් ලැබුණේ නැත. ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව 54ක් විය. තමිම් ඉක්බාල් (21) සහ සෞම්‍ය සාර්කර් (54) ඒ වෙනුවෙන් වෙහෙස වූහ. අනතුරු ව දෙවැනි කඩුල්ලට ද ලකුණු 52ක සබඳතාවක් එක් විය. ඒ සෞම්‍ය සාර්කර් සහ ශකීබ් අල් හසන් (29) අතර ය.

සෞම්‍ය සාර්කර් පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 54ක් ලබා ගනිමින් තෙවැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත්ව යද්දී බංග්ලාදේශ ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 107ක් විය. එතැනින් පසුව ඉනිම ගොඩ නැගුවේ මුෂ්ෆිකර් රහීම් සහ මොහොමඩ් මිතුන් ය. ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83ක සබඳතාවක් ගොඩ නැගූහ.

මොහොමඩ් මිතුන් පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ලබා සිටිය දී දැවී යමින් එම කඩුල්ලේ සබඳතාවට තිත තැබුණි. අනතුරුව මුෂ්ෆිකර් රහීම් සහ මහමුතුල්ල එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් එක් කළහ. එම සබඳතාව අවසන් වූයේ මුෂ්ෆිකර් රහීම්ගේ දැවී යෑමත් සමඟිනි. ඔහු පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 63ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ද විය. ඔහු අද රැස් කළේ තම එක්දින තරග දිවියේ 33 වැනි අර්ධ ශතකයයි. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.

විශිෂ්ට තරගයකින් පසු IPL රන් කිරුළ මුම්බායි පිළට!

සමස්ථ ක්‍රිකට් ලෝකයම තම වසඟයට ගනිමින් ඊයේ (13) පැවති ඉන්දියන් ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයේ…

තරගය ජයග්‍රහණයෙන් නිමා වෙද්දී මහමුදුල්ලා පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 30ක් ලබා සිටියේ ය. පන්දු යැවීමේ දී ඈශ්ලි නර්ස් ලකුණු 53කට කඩුලු 3ක් ලබා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යවන්නා බවට පත් විය.

මෙම තරගයේ දී බංග්ලාදේශය වෙනුවෙන් මංගල එක්දින වරම් දිනා ගැනීමට 25 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන අබු ජායෙඩ් සමත් විය. එමෙන් ම බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් මංගල එක්දින වරම් දිනා ගැනීමට 28 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණය ලත් රේමන් රයිෆර් සමත් විය.  

තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය වන අයර්ලන්තය සහ බංග්ලාදේශය අතර තරගය මේ මස 15 වැනිදා ඩුබ්ලින් හී ක්ලොන්ටාෆ් ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිත ය.

බටහිර ඉන්දීය කොදෙව්; කඩුලු 9ක් දැවී 247 (50) ශායි හොප් 87, සුනිල් අම්බ්‍රිස් 23, ජේසන් හෝල්ඩර් 62, මෂ්රෆි මොර්ටසා 3/60, මුස්ටෆිසුර් රාහ්මන් 4/43

බංග්ලාදේශය; කඩුලු 5ක් දැවී 248 (47.2) තමීම් ඉක්බාල් 21, සෞම්‍ය සාර්කර් 54, ශකිබ් අල් හසන් 29, මුෂ්ෆිකර් රහීම් 63, මොහොමඩ් මිතුන් 43, මහමුදුල්ලා නොදැවී 30, ඈශ්ලි නර්ස් 3/53

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<