මහනුවර ආධිපත්‍ය ඉදිරියේ CH කණ්ඩායමට නින්දාසහගත පරාජයක්

1895
ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ මහනුවර සහ CH&FC කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයේ ඡායාරූපයකි ©ThePapare.com
ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ මහනුවර සහ CH&FC කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයේ ඡායාරූපයකි ©ThePapare.com

ඊයේ (06) මහනුවර නිත්තවෙලදී පැවති ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් නිමා වූයේ, මෙවර තරඟාවලියේදීත් ශූරතාවය ලබා ගනු ඇතැයි විශ්වාස කරන ප්‍රබල මහනුවර කණ්ඩායම, CH & FC කණ්ඩායමේ ආරක්ෂක පෙල සුනු විසුණු කර දමමින් උත්සාහක දිනුම් 14ක් වාර්තා කරමිනි.

මහනුවර කණ්ඩායමේ ජේසන් දිසානායක, බුවනෙක උදන්ගමුව වැනි ක්‍රීඩකයින් ආබාධ තත්වයන් නිසා විවේක ගන්වා තිබූ බැවින් ඔවුන් ක්‍රීඩා කළේ තම සම්පුර්ණ ශක්තියෙන් ද තොරව යි. තරඟය අවසාන වූයේ 96-00 (14 T,13 C) ලෙස අති දැවැන්ත ජයක් මහනුවර කණ්ඩායමට හිමිකර දෙමිනි.

පසුගිය ලිපි: ගුවන් අභියෝගයට හැව්ලොක් ක්‍රීඩා සමාජයෙන් ප්‍රබල පිළිතුරක්

මහනුවර කණ්ඩායම ඊයේ දින තුළ කල යුතු සියළු දේ හරිහැටි ඉටු කළේය. පසු පෙල රේඛාවේ ක්‍රීඩකයන්ට ධාවනයේ යෙදීම සඳහා ඉදිරි පෙල ක්‍රීඩකයන් විසින් ප්‍රතිවාදී ආරක්ෂා බැමි බිඳ හොඳ අවස්ථාවන් සකස් කර දෙන ලදී. ගෝල ප්‍රහාරකයන් වන අර්ශාඩ් ජමල්ඩීන් සහ තිලිණ විජේසිංහට කිසිදු දඬුවම් පහරක් නොලැබුණත් ඔවුනට ලැබුණු ප්‍රවර්තනයන් 14න් 13ක්ම සාර්ථක කරගන්නට ඔවුන් දෙදෙනා සමත්විය. ගිලිහුණු එකම ගෝලය අර්ශාඩ්ගේ පාදයෙන් ගිලිහී ගියේ ගෝල කණු ආසන්නයේදීම ය.

Photos: Kandy SC v CH&FC – Dialog Rugby League 2016/17 | #Match 3

වළාකුලින් බර අඳුරු කාලගුණ තත්වයක් යටතේ තරඟය නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ CH & FC කණ්ඩායමේ ජනිත් චන්දිමාල්ගේ පා පහරකිනි. ඉර්ශාඩ් කාදර් තරඟයේ විනිසුරු ලෙස කටයුතු කළේය.

තරඟය ආරම්භ වී මිනිත්තු හතරක කාලයක් ගතවෙත්ම ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කරන්නට මහනුවර කණ්ඩායම සමත් විය. රොෂාන් වීරරත්නට ධවල රේඛාව පසුකර යාම සඳහා අලංකාර දිගු පන්දු යොමුවක් තිලිණ විජේසිංහ අතින් පිරිනැමිණ. අර්ශාඩ් ජමල්ඩීන් එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය (07-00).

ඉන් මිනිත්තුවකට පසුව රිචඩ් ධර්මපාල විසින් පිටියේ දකුණු අන්තයෙන් දිවගොස් උත්සාහක රේඛාව පසුකරන්නේද, තිලිණ විජේසිංහගෙන් ලද අනගි පන්දු පිරිනැමීමක ප්‍රතිඵලයක් වශයෙනි. ජමල්ඩීන් තම ප්‍රවර්තන කාර්යය ඉටුකරමින් ඊට ලකුණු දෙකක් එක්කළේය (14-00).

ඉන් පසුව ක්‍රියාත්මක වූ ධනුෂ්ක රන්ජන්, මිනිත්තු 20ක කාලසීමාවක් ඇතුළත උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කළේය. ඒ උත්සාහක දිනුම් ත්‍රිත්වයම ප්‍රතිවාදීන් නොමඟ යවා පිටියේ වම් අන්තයෙන් දිවගොස් වාර්තා කළ ඒවා විය. තරඟයේදී ගිලිහුණු එකම ප්‍රවර්තනය වාර්තා වූයේ ධනුෂ්ක රන්ජන්ගේ දෙවන උත්සාහක දිනුම වෙනුවෙන් මීටර 25ක දුරක සිට යම් ආනතියක්ද සහිතව ජමල්ඩීන් හට ලැබුණු ප්‍රවර්තන අවස්ථාවයි (33-00).

ඉන්පසු අර්ශාඩ් ජමල්ඩීන් අතින් උත්සාහක දිනුමක් වාර්තා වූ අතර එය අවසන් වූයේ සාර්ථක ප්‍රවර්තනයක් ද සමඟිනි (40-00). ඒ සමඟින් එකම තරඟයක් තුළ ලකුණු 25ක් තමා සන්තක කරගන්නට ජමල්ඩීන් සමත් විය.

ඉන් මඳ වේලාවකට පසු CH & FC කණ්ඩායම විසින් මහනුවර කණ්ඩායමේ පසුපෙල උපක්‍රමයන් හඳුනාගත් බවක් පෙන්නුම් කළේව.

පිටිය මැදින්ම ධවල රේඛාව අභියසට ගොස් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සුයුරු ඇන්තනී සමත් විය (47-00). එහි වැඩි බර කරට ගෙන ක්‍රීඩා කළේ ඉදිරි පෙල ක්‍රීඩකයන් වන අතර මීටර 25ක පමණ දුරක් ඔවුන් විසින් ප්‍රතිවාදී අන්තය වෙත කෙමෙන් කෙමෙන් ළඟාවීමෙන් අනතුරුව සුයුරුට පන්දුව හිමිවිය. එතැන් සිට තනිවම දිවයමින් මහනුවර කණ්ඩායමේ 7වන උත්සාහක දිනුමත් ඔහු අතින් වාර්තා විය.

ප්‍රථම අර්ධයේ අවසන් උත්සාහක දිනුම මීටර 30ක වේගවත් ධාවනයක් සමඟින් වාර්තා වූයේ ශෂික ජයවර්ධනගේ අතිනි. තිලිණ විජේසිංහ එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය (54-00).

ප්‍රථම අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 54 (8T 7C) – 00 CH & FC කණ්ඩායම

දෙවන අර්ධය ප්‍රථම අර්ධයට වඩා වෙනස් විය .එහිදී මහනුවර කණ්ඩායම ලකුණු 42ක් වාර්තා කළේය. ප්‍රතිවාදී ආරක්ෂකයන් තිදෙනෙකු මවිතයට පත්කරමින් උත්සාහක දිනුම් රේඛාව පසු කොට තමා නමින් සිව්වන උත්සාහක දිනුමත් වාර්තා කළ ධනුෂ්ක රන්ජන් නැවැත්වීමට කිසිවෙකුටත් නොහැකි විය.

ඉන් පසුව රිචඩ් ධර්මපාල විසින් දෙවරක් උත්සාහක දිනුම් රේඛාව පසු කළද පැති විනිසුරුගේ තීරණය වූයේ ඔහු පිටියේ සීමා ඉරෙන් ඉවතට පා තැබු බවයි. මීළඟට ලකුණු සටහනේ තමාගේ නම ලියවාගන්නට සමත් වූයේ තරිඳු චතුරංග ය. තමා වෙත ලැබුණු පන්දුව ඉදිරියටම තල්ලු කර ගෙනයමින් මීටර කිහිපයක් එපිටින් වු දිනුම් රේඛාව පසුකරන්නට ඔහුට හැකිවිය.

යළි ක්‍රියාත්මක වූ රිචඩ් ධර්මපාල, ප්‍රතිවාදී ආරක්ෂකය‍ෙකු පසුකොට පිටිය තුළට දිව යමින් උත්සාහක දිනුමක් වාර්තා කළේය. පසුව මහනුවර කණ්ඩායමට දඬුවම් උත්සාහක දිනුමක් පිරිනැමිණි.

ඉන් අනතුරුව CH කණ්ඩායමෙන් ලැබුණු පීඩනය දරාගනිමින් විශ්වමිත්‍ර ජයසිංහගෙන් ලද පන්දුව ඉහළට යොමු කොට හඹාගිය තිලිණ ජයසිංහව ප්‍රතිවාදියෙකු විසින් නවතා දැමුණත්, කාංචන රාමනායක තම හැකියාවන් මනාව ප්‍රදර්ශනය කරමින් ආරක්ෂකයින් පසුකර ගොස් ස්වශක්තියෙන්ම ධවල රේඛාව පසුකළේය. පිටියේ දකුණු අන්තයෙන් වාර්තා වූ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ජමල්ඩීන් අතින් සාර්ථක විය.

මහනුවර අනෙකුත් ඉදිරි පෙල ක්‍රීඩකයන්ගේද සහයෙන් ලකුණු සටහනේ පහතින් තමාගේ නමද සටහන් කරවා ගන්නට යාකුබ් අලි සමත් විය. එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ඉතා පහසුවෙන් සාර්ථක කරගත්තේ තිලිණ විජේසිංහ ය.

අවසන් ලකුණු: මහනුවර ක්‍රීඩා සමාජය 96 (14 T,13 C) 00 CH & FC කණ්ඩායම

මහනුවර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කරනු ලැබූ ක්‍රීඩකයන්:

ධනුෂ්ක රන්ජන් (4), රිචඩ් ධර්මපාල (2), අර්ශාඩ් ජමල්ඩීන්, රොෂාන් වීරරත්න, සුයුරු ඇන්තනී, ශෂික ජයවර්ධන, තරිඳු චතුරංග, කාංචන රාමනායක, යාකුබ් අලි.

මහනුවර කණ්ඩායම පෙර වසරටත් වඩා නැවුම් හා මුවහත්ව මෙවර තරඟාවලියට එක්ව ඇත. අවසන් වසරේ අප දුටු පරිදි ඔවුන් සෙමෙන් තරඟාවලියට අවතීර්ණ වන බව වූවත් මෙවර  ඔවුන්ව ප්‍රතිවාදීන්ට නවතාගත නොහැකි තරමේ මට්ටමක පසුවන බවක් දිස්වෙයි. මහනුවර කණ්ඩායම සහභාගී වන මීළඟ තරඟය පොලිස් කණ්ඩායමට එරෙහිව එළඹෙන සතියේදී පැවැත්වීමට නියමිතයි.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට

තරගයේ විශේෂ අවස්තා