ශ්‍රී ලංකාවට හතර; සිංගප්පූරුව එකට

397
Sri Lanka Netball Team

දකුණු කොරියාවේ ජෙයෝන්ජු නුවර පැවති 10 වන ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට හොං කොං කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයේ දී පහර කයි

10 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී ලකුණු 58-32ක් වශයෙන්..

ශ්‍රී ලංකාව සහ හොං කොං කණ්ඩායම අතර පැවති කාණ්ඩ වටයේ තරගය ලකුණු 60-45ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවත් ඔවුන් මෙහි දී සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් වටයේ දී සිංගප්පූරු කණ්ඩායම හමුවේ ද පරාජයට පත්විය.

2015 වසරේ දී ශූරයින් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ අර්ධ අවසන් වටයේ දී සිංගප්පූරු කණ්ඩායම හමුවේ ලකුණු 58-32ක් ලෙස පරාජයට පත්වූ අතර අනෙක් අවසන් පූර්ව තරගය හොං කොං කණ්ඩායමට එරෙහිව ලකුණු 70-40ක් ලෙස ජයග්‍රහණය කරන්නට මැලේසියානු කණ්ඩායම සමත් විය.

තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගන්නා කණ්ඩායම තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හා හොං කොං කණ්ඩායම අතර පැවති තරගයේ පළමු කාර්තුවේ දී ලකුණු 12-11ක් ලෙස පෙරමුණ ගන්නට හොං කොං කණ්ඩායම සමත් වූ අතර එහි දී කවීනා රාජපක්ෂ උත්සාහයන් 13න් 11 ක් සාර්ථක කර ගනිද්දී ප්‍රතිවාදී කණ්ඩායමේ යැන්ග් සී සහ ඒ. ටුපර් පිළිවෙළින් ලකුණු 10ක් හා 2ක් රැස්කර ගන්නට සමත් විය. තරගයේ දෙවැනි කාර්තුවේ දී ලකුණු 20-17ක් ලෙස හොං කොං කණ්ඩායම පෙරමුණේ සිටියත් එම අර්ධය අවසන් වන විට ලකුණු 26ක් වාර්තා කරමින් තරගයේ ලකුණු තත්වය සම කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

තරගයේ තුන්වෙනි කාර්තුවේ තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කළ හොං කොං ක්‍රීඩිකාවන් 10-5ක් ලෙස ලකුණු වාර්තා කරමින් තරගයේ සම්පූර්ණ ලකුණු තත්වය ලකුණු 36-31ක් ලෙස ගෙන එන්නට සමත් විය. ඉන් අනතුරුව එම අර්ධය නිමාවට පත්වූයේ ලකුණු 43-38ක් ලෙස හොං කොං කණ්ඩායම ඉතා ප්‍රබල ස්ථානයක රැඳෙමිනි.

එම අර්ධය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු ලබා ගැනීමට සිදු කළ උත්සාහයන් සියල්ල සාර්ථක කර ගැනීමට සමත් වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා ගත හැකිවූයේ උත්සාහයන් 12ක් පමණි. අනෙක් පසින් හොං කොං කණ්ඩායම එම අර්ධය තුළ උත්සාහයන් 21ක් සිදු කළ අතර එයින් 17ක් සාර්ථක කර ගන්නට ඔවුන් සමත් විය.

තරගයේ සිව්වැනි හා අවසාන කාර්තුව තුළ හොං කොං කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩිකාවන් හමුවේ අසාර්ථක වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සිය සුපුරුදු රිද්මයට අවතීර්ණ වීමට සමත් වූයේ නැත. එහි දී හොං කොං කණ්ඩායම ලකුණු 54-42ක් ලෙස ලකුණු 12ක පරතරයක් රඳවා ගන්නට සමත් විය.

සිව්වැනි අර්ධයේ අවසාන භාගය තුළ ලකුණු 4-7ක් ලෙස පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවත්, හොං කොං කණ්ඩායමේ ජයග්‍රහණය වළක්වා ගන්නට එය ප්‍රමාණවත් වූයේ නැත. ඒ අනුව ලකුණු 58-49ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ හොං කොං කණ්ඩායම 1994 වසරෙන් පසුව ප්‍රථම වරට තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කවීනා රාජපක්ෂ තරගාවලියේ අර්ධ අවසන් වටයේ දී තරමක් දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර එහි දී ඇයට සාර්ථක කර ගැනීමට හැකිවූයේ උත්සාහයන් 33න් 24ක් පමණි. නමුත් නැවතත් සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණි ඇය මෙම තරගයේ දී උත්සාහයන් 52න් 48ක් සාර්ථක කර ගන්නට සමත් විය. හොං කොං කණ්ඩායමේ යැන්ග් සී උත්සාහයන් 45 කින් 36ක් සාර්ථක කර ගත් අතර ඒ. ටුපර් උත්සාහයන් 34කින් 22ක් සාර්ථක කර ගන්නට සමත් විය.

කෙසේ වුවත් නැවතත් මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතු වූයේ කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩිකාවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශයයි. එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සාර්ථකව පන්දුව හුවමාරු කර ගන්නට අසමත් වූ අතර එමනිසා කවීනා රාජපක්ෂ හට ලකුණු ලබා ගැනීමට ලැබුණේ සීමිත අවස්ථා සංඛ්‍යාවකි. සමස්ත තරගය තුළ හොං කොං කණ්ඩායම උත්සාහයන් 79කින් 73.41%ක් පමණක් සාර්ථක කර ගන්නට සමත් වූ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් උත්සාහයන් 55න් 89%ක්  සාර්ථක කර ගැනීමට සමත් වීම එයට සාක්ෂි දරයි.

සිංගප්පූරුව සහ මැලේසියාව – අවසන් තරගය

මැලේසියානු කණ්ඩායම හමුවේ කාණ්ඩ වටයේ දී ලකුණු 53-50ක් ලෙස පරාජය වූ සිංගප්පූරු කණ්ඩායම තරගාවලියේ අවසාන මහා තරගයේ දී මැලේසියාව ලකුණු 47-43ක් ලෙස පරාජය කරමින් 10 වන ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළඳීමට සමත් විය.

සිංගප්පූරු ක්‍රීඩිකාවන් තරගයේ පළමු අර්ධයේ දී ලකුණු 11-10ක් ලෙස පෙරමුණේ පසු වුවද දෙවන අර්ධය අවසන් වන විට මැලේසියානු කණ්ඩායම ලකුණු 19-22ක් ලෙස තරගයේ වාසිය තමන් දෙසට හරවා ගන්නට සමත් විය. නමුත් නැවතත් තරගයට අවතීර්ණ වූ සිංගප්පූරු කණ්ඩායම තරගයේ තෙවන හා සිව්වන අර්ධ ලකුණු 15-12ක් හා 13-9ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගාවලියේ ශූරතාවය තමන් සතුකර ගත්තේය.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න  මුල් පිටුවට