චමරි අතපත්තුට තවත් ඉතිහාසගත අවස්ථාවක්

916
Atapattu signs for Kia Super League

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් වන චමරි අතපත්තු, ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑශ් තරගාවලියේ මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන ඇති බව වාර්තා වේ.

අතපත්තු Kia සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන දක්ෂ වමත් පිතිකාරිනියක් වන චමරි..

අතපත්තු ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් තරගාවලිය සඳහා ගිවිසුම්ගත වීමත් සමඟින් මෙම තරගාවලිය නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වීමේ භාග්‍ය ද ඇය හට හිමි වනු ඇත.

තවද මේ වසරේ මැද භාගයේ දී Kia සුපිරි ලීග් විස්සයි විස්ස තරගාවලිය සඳහා ඇය ගිවිසුම්ගත වීමත් සමඟම කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියක් සඳහා  ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක් සහභාගි වූ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසගත විය.

නිමා වූ Kia සුපර් ලීග් තරගාවලියේ දී ඇය නියෝජනය කළ යෝක්ශයර් ඩයමන්ඩ් පිල හා ලොෆ්බ්‍රෝ ලයිටින් පිල අතර පැවැත්වූ තරගයේ දී අතපත්තු විසින් පන්දු 40ක් තුළ නොදැවී ලබාගත් ලකුණු 66* නිසා යෝක්ශයර් ඩයමන්ඩ් පිලට ලකුණු 17ක ජයක් ලබා ගැනීමට හැකි විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පිතිකරණ බල ඇණිය සතුව සිටින ප්‍රබල තුරුම්පුවක් වන අතපත්තු, ශ්‍රී ලංකාව වෙනුවෙන් පසුගිය තරගාවලි කිහිපය තුළ හොඳින් ලකුණු අතර සිටි ක්‍රීඩිකාවකි. පසුගිය දා එංගලන්තයේ දී නිමා වූ ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී එවකට ශූරියන් ලෙස කිරුළු දරා සිටි ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට එදිරිව ලකුණු 178ක් ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත වීමට ද ඇයට හැකි විය.

ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන් අතුරෙන් ජාත්‍යන්තර මට්ටමේ විස්සයි විස්ස තරගාවලියක් නියෝජනය කරන එකම ක්‍රීඩිකාව ද අතපත්තු වේ.

ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑශ් ක්‍රිකට් තරගාවලිය මේ වසරේ දෙසැම්බර් මස 9 වැනිදා සිට ලබන වසරේ පෙබරවාරි 4 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාව පුරා විසිරුණු ක්‍රීඩාංගණ රැසක දී පැවැත්වෙන අතර, ඕස්ට්‍රේලියානු බිග් බෑශ් (පිරිමි) තරගාවලිය දෙසැම්බර් 19 වැනිදා සිට පෙබරවාරි 4 දක්වා පැවැත්වෙනු ඇත.

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <