පොලිස් ක්‍රීඩා සමාජය පළමු ජය වාර්තා කරයි

237
CH FC vs Police SC

සති 5 ක් පුරා අත්විඳි පරාජයේ වේදනාව මදක් සමනය කර ගන්නට පොලිස් ක්‍රීඩා සමාජය ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 6 වන සති අන්තයේදී සමත් විය. ඒ ලකුණු 45 – 26 ක් ලෙස CH & FC ක්‍රීඩා සමාජය පරාජය කරමිනුයි. මේ අනුව CH & FC කණ්ඩායමේ මෙවර පරාජයන් ගොන්නට නොකඩවා 6 වන වේදනාත්මක මතක සටහනත් එක්විය.

පසුගිය ලිපි: යුධ හමුදාව පරදා ගුවන් හමුදාවට තියුණු ජයක්

ජනිත් චන්දිමාල් ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගයේදී CH & FC ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා ලෙස තරග කළ රෝහිත රාජපක්ෂ කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගය ආරම්භ කරන ලදී.

පොලිස් කණ්ඩායමද තරගයට එක්වුණේ සංදේශ් ජයවික්‍රම වෙනුවට ෆුල් බැක් ක්‍රීඩක රජිත සන්සෝනි ෆ්ලයි හාෆ් ස්ථානයට කැඳවමින්.  

පොලිස් කණ්ඩායමට ලකුණු පුවරුව ක්‍රියාත්මක කරවීම සඳහා ගතවුනේ තරගය ආරම්භ කර මිනිත්තු 3 ක කාලයක් පමණයි. උදාර ගයාන් CH & FC ආරක්ෂක පෙළ බිඳ දමමින් වාර්තා කල උත්සාහක දිනුමට අමතර ලකුණු එකතු වුනේ රජිත සන්සෝනිගේ පා පහරින්. (CH & FC 00 – 07 පොලිස්)

CH & FC කණ්ඩායමේ වරදකින් උපරිම ප්‍රයෝජන ගත් මොහොමඩ් අබ්සාල් විසින් මනාව ඉදිරියට ගෙනගිය පන්දුව සන්සෝනි අතට භාර කලේ ඔහුට උත්සාහක දිනුමක මෙන්ම තවත් සාර්ථක ප්‍රවර්ථනයකද අයිතිය හිමිකර දෙමින්. (CH & FC 00 – 14 පොලිස්)

CH & FC කණ්ඩායමට ලකුණු ලබා ගැනීමේ අවස්තාවක් අහිමි වෙද්දී ඉරෝෂන් සිල්වා පොලිස් කණ්ඩායමේ තුන්වන උත්සාහක දිනුමට හිමිකම් කියුවද එය නිවැරදිව ප්‍රවර්ථනය කරන්නට ඔවුන්ට නොහැකි විය. (CH & FC 00 – 19 පොලිස්)

විශිෂ්ට අනාගතයක පෙර ලකුණු පෙන්වන යොවුන් ක්‍රීඩක රීසා රෆායිඩීන් පළමු අර්ධය තුලදී තමන්ගේ නමත් ලකුනු ලයිස්තුවට එක් කර ගත්තේ ගෝල කණු අසලම පන්දුව පතිත කරමිනුයි. සන්සෝනි තමන්ගේ තුන්වන සාර්ථක ප්‍රවර්ථනයත් එල්ල කරද්දී පළමු අර්ධයේ ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම තමන් සතු බව තහවුරු කරගන්නට පොලිස් පසුපෙළ ක්‍රීඩකයන්ද අනගි දායකත්වයක් ලබා දෙන ලදී.

පළමු අර්ධය: CH & FC ක්‍රීඩා සමාජය 00 – 25 පොලිස් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය තුල කණ්ඩායම් දෙකෙන් උත්සාහක දිනුම් 7 ක් වාර්තා වීම කැපී පෙනුනි. චාල්ස් ප්‍රවීන් දෙවන අර්ධයේ උත්සාහක දිනුම් වර්ෂාවේ ආරම්භය සනිටුහන් කලේ පොලිස් කණ්ඩායම වෙනුවෙනුයි. එහි ප්‍රවර්ථනය පහසුවෙන් එල්ල කල රාජිත සන්සෝනි ලකුණු වාසිය 33 දක්වා ආරධනය කරන ලදී (CH & FC 00 – 33 පොලිස්)

සත්කාරක CH & FC කණ්ඩායම අවසානයේ ලකුණු පුවරුවේ තම අන්තය පණගන්වන්නට සමත් වුනේ උදාර මධුශංක වාර්තාකළ උත්සාහක දිනුමත් සමගයි. ආරම්භක කණ්ඩායමට ඇතුලත් නොවුනත් ආදේශක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පැමිණි විශ්ව දිනෙත් එය සාර්ථකව ප්‍රවර්ථනය කරන්නට සමත් විය. (CH & FC 07 – 33 පොලිස්)

තවත් සුළු කාලයක් තුල CH & FC කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම වාර්තා කලේ ලක්ෂාන් ජයපාල විසින්. එයින් මිනිත්තු කිහිපයක් ගත වන විට කසුන් ශ්‍රීනාත් සත්කාරකයන් හට නොකඩවා ලැබුණු 3 වන උත්සාහක දිනුම වාර්තා කලේ විරාජ් හේවගේ දර්ශනීය ලෙස මීටර් 30 ක් පමණ තනිව රැගෙන ආ පන්දුව භාර ගනිමිනුයි. දිනෙත් මෙම උත්සාහක දිනුම් ද්විත්වයද සාර්ථකව ප්‍රවර්ථනය කරන ලදී. (CH & FC 21 – 33 පොලිස්)

CH & FC කණ්ඩායම පොලිස් ක්‍රීඩා සමාජයට තර්ජනයක් එල්ල කරන ආකාරයක් පෙනෙන්නට තිබු මේ අවස්තාවේදී රීසා රෆායිඩීන් තම දෙවන උත්සාහක දිනුම වාර්තා කල අතර සුජාන් කොඩිතුවක්කු ද තමන්ගේ නම ඉදිරියෙන් උත්සාහක දිනුමක අයිතිය සටහන් කර ගත්තේ පොලිස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කර ගනිමිනුයි. (CH & FC 21 – 45 පොලිස්)

තරග අවසානය ඇත ළඟ තිබියදී CH & FC කණ්ඩායම සැනසිලි ත්‍යාගයක් බඳු උත්සාහක දිනුමක් වාර්තා කල අතර එහි අයිතිය ප්‍රභාත් ජයලත් හට හිමිවිය.

අවසන් ලකුණු තත්ත්වය: CH & FC ක්‍රී. ස. 26 (උත්සාහක දිනුම් 4, ප්‍රවර්ථන 3) –  පොලිස් ක්‍රී. ස.  45 (උත්සාහක දිනුම් 7, ප්‍රවර්ථන 5)

ThePapare.com තරගයේ වීරයා: රදීෂ සෙනෙවිරත්න (පොලිස් ක්‍රීඩා සමාජය)

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

CH & FC

  • උත්සාහක දිනුම් : උදාර මධුශංක, ලක්ෂාන් ජයපාල, කසුන් ශ්‍රීනාත්, ප්‍රභාත් ජයලත්.
  • ප්‍රවර්ථන – විශ්ව දිනෙත් (03)

පොලිස් ක්‍රී. ස.

  • උත්සාහක දිනුම් : උදාර ගයාන්, රජිත සන්සෝනි, ඉරෝෂන් සිල්වා, රීසා රෆායිඩීන් (2), චාල්ස් ප්‍රවීන්, සුජාන් කොඩිතුවක්කු
  • ප්‍රවර්ථන : රජිත සන්සෝනි (5)

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට