සුපිරි එංගලන්ත කඩුලු රකින්නාගේ ජර්සියට ඉහළ මිලකට අලෙවි වේ!

75

ලොව පුරා වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත අනතුරේ හෙළමින් ශීඝ්‍රයෙන් පැතිර යන Covid-19 වසංගතයට එරෙහිව සටන් වැඳීම සඳහා සුප්‍රසිද්ධ ක්‍රීඩා තරු රැසක් මේ වන විට එකට අත්වැල් බැඳගනිමින් කටයුතු කරන ආකාරය සමාජ මාධ්‍ය පරිශීලනය කරන ඔබට ඉතාමත් සුලබව දැකගත හැක.

සුපිරි එංගලන්ත ක්‍රීඩකයා කොරෝනා වෙනුවෙන් ජර්සිය වෙන්දේසි කරයි

මේ දිනවල ලොව පුරා පැතිර යන COVID-19 හෙවත් කොරෝනා වෛරසය නිසා ගෝලීය අර්බුදයක් නිර්මාණය වී ඇත.

ලොව ප්‍රමුඛ පෙළේ නම් දැරූ ක්‍රීඩකයින් රැසක් ඔවුන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් නොයෙකුත් සහන සැලසීමේ ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසකටම දායකත්වය ලබා දීමට ඉදිරිපත් වී ඇති අතර අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටල සැපයීම මඟින් ඉමහත් සේවයක් ඉටු කරන සෞඛ්‍ය සහ වෛද්‍ය කාර්‍ය මණ්ඩලවලට සහය වීමට ඔවුන් වඩාත් යුහුසුලු විය.

මේ අතරින් වඩාත් කතාබහට ලක්වුණු සිදු වීමක් ලෙස ජොස් බට්ලර් තමන් ලෝක කුසලාන අවසන් මහ තරගය සඳහා පැලඳි ජයග්‍රාහී ජර්සිය වෙන්දේසියේ තැබීම හැඳින්විය හැක. ඔහුගේ මූලික අභිප්‍රාය බවට පත්වුයේ එමඟින් රැස් වන මුදල් දැනට ජීවිතාරක්ෂක වෛද්‍ය උපකරණ කට්ටල හිඟයක් පවතින හෝර්ෆීල්ඩ් සහ රෝයල් බ්‍රොම්ප්ටන් යන රෝහල් සඳහා පරිත්‍යාග කිරීමයි.

වෙන්දේසිය සඳහා ලංසු තැබීම ආරම්භ වී දින කිහිපයක් ගත වූ පසු  ඊට නන් දෙසින් ගලා ආ යහපත් ප්‍රතිචාර දෙස බැලූ විට තමන් ඉතාමත් පුදුමයට පත්වන බව ජොස් බට්ලර් සඳහන් කර සිටියේය. වෙන්දේසිය පෙරේදා (07) දිනයේ දී අවසන් වූ අතර පවුම් 65,100ක (ඇ.ඩො. 81,000 ආසන්න) මුදලකට ජර්සිය මිලදී ගැනීමත් සමඟම සැලකිය යුතු මුදල් සංඛ්‍යාවක් රැස් කර ගැනීමට ඔවුන් සමත් විය.

ඊයේ (08) දිනයේ දී මාධ්‍ය අමතමින්  අදහස් දක්වා සිටි බට්ලර් සඳහන් කර සිටියේ මේ සඳහා දායකවූ සියලු දෙනා හට මේ අවස්ථාවේ දී තම ගෞරවය සහ ස්තූතිය පුදකොට සිටින බවයි.

එංගලන්ත ක්‍රීඩකයින්ගේ පවුම් මිලියන භාගයක්!

කොරෝනා වයිරසය ලොව පුරා පැතිර යාමේ ප්‍රතිඵලයක් ලෙස එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇති වී තිබෙන මූල්‍ය……

“මට ඒ ජර්සිය ඇත්තටම ගොඩක් වටින මතක සටහනක්. නමුත් මේ වගේ හදිසි අවස්ථාවක දී අසරණ වෙලා ඉන්න පිරිසකට උදව් කරන්න පුළුවන් නම් ඇත්තටම ඒක තමයි විය යුත්තේ. මම හිතනවා ඒක නිසාම මේ ජර්සියට අමතර වටිනාකමක් එකතු වෙනවා කියලා.”

එංගලන්ත කණ්ඩායමේ කඩුල්ල පිටුපස වැදගත් භූමිකාවක් රඟ දක්වන බට්ලර් මෙම එක්‍ රැස් වන මුදල් විශේෂයෙන්ම තෝරාගත් හදවත් සහ පෙණහලු සම්බන්ධව ප්‍රතිකාර සිදු කරන රෝහල් දෙකක් සඳහා පිරිනැමීමට කල් තියා සැලසුම්කොට තිබුණේ ඔහුගේ බිරිඳගේ නැන්දනිය එයින් එක් රෝහලක (රෝයල් බ්‍රොම්ප්ටන්) ළමා රෝග අංශයේ ප්‍රධාන නිලධාරිණිය ලෙස සේවය කරන නිසාවෙන් බව සඳහන් වේ. 

Covid-19 වසංගතය මුළු යුරෝපාකරයම ආක්‍රමණය කිරීමත් සමඟම ප්‍රධාන පෙළේ රටවල් රැසක සංවිධානය කොට තිබූ නොයෙකුත් ක්‍රීඩා තරගාවලි බොහෝමයකට එය දැඩි බලපෑමක් එල්ල කළේය. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදර ලෙස සැලකෙන එංගලන්තයේ නව තරග වාරය ආරම්භ වීමට දින කිහිපයක් ඉතිරිව තිබිය දී වයිරසයේ පැතිරීම උච්චතම අවස්ථාවට පැමිණීම කිසිදු තරගයක් මැයි 28 දක්වා නොපැවැත්වීමට ගෙන ඇති තීරණයට හේතුපාදක විය.

තවද ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත පාකිස්තාන, ඕස්ට්‍රේලියානු සහ කොදෙව්  එංගලන්ත තරග සංචාරයන් පිළිබඳ අවසන් තීරණයක් තවමත් ගෙන නොමැති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<