19න් පහළ ලෝක කුසලානයට කලින් ශ්‍රී ලංකාවට පුහුණු තරග දෙකක්

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

496

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි 14 වැනිදා සිට පෙබරවාරි 5 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම උගන්ඩාව සහ අයර්ලන්තය සමඟ පුහුණු තරග දෙකකට ද සහභාගී වීමට සූදානමින් සිටිනවා.

මෙවර 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ D කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකාව සමඟ ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්වන් තරග වදිනවා.

“මෙවර තරගාවලිය සඳහා අපේ කණ්ඩායම ඉතාමත් හොඳ සූදානමකින් ඉන්නවා. අපි අවසන් මාස 4ක කාලය තුල ඉතාමත් හොඳින් දස්කම් දැක්වූවා. ක්‍රීඩා කරපු තරග 15න් තරග 11ක් අපි ජයගෙන තිබෙනවා. ආසියානු කුසලානයේ දී අපි අනුශූරතාවය දිනා ගත්තා. ඒ තරගාවලියේ අපේ කණ්ඩායම හොඳටම සෙල්ලම් කළා, හැබැයි පිතිකරණ අංශය තව උඩට ගන්න ඕනේ කියලා මට හිතෙනවා”, යැයි ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (5) පවසා සිටියා.

ජනවාරි 1 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වල පුහුණු උපදේශක තනතුරේ වැඩ භාර ගත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මේ මස 8 වැනිදා කොදෙව් දේශයට පිටව යාමට නියමිතයි. පසුව 9 වැනි ඉරිදා PCR පරීක්ෂණයක් සිදු කර එහි ප්‍රතිඵල පැමිණි පසුව මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුල සඳහා එක්වීමට නියමිතයි.

මහේල ජයවර්ධන පුහුණු උපදේශකවරයෙක් විදිහට අපේ කණ්ඩායම එක්ක එකතු වෙනවා. ඔහු අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙන එක අපේ කණ්ඩායමට අමතර වාසියක් වේවි”, අවිශ්ක වැඩිදුරටත් පැවසුවා.

ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකාව පසුගිය 2 වැනිදා කොදෙව් දූපත් වෙත ළඟා වුනා. ඔවුන් මේ වන විට දින තුනක නිරෝධායන කාලයක් පසුකරමින් සිටින අතර එය අවසන් කළ පසුව මේ මස 7 වැනිදා සිට පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී අපිට ලැබුණේ තණකොළ සහිත තණතීරුවක්, හැබැයි අපේ ක්‍රීඩකයින් මුලින් පිතිකරණයේ නිරත වෙන්න තීරණය කළා. තණකොළ දැකලා බය වුනේ නැහැ. පාකිස්තාන 19න් පහළ කණ්ඩායමේ ඉතාමත් හොඳ වේගපන්දු යවන්නන් තුන්දෙනෙක් ඉන්නවා. ඒ වගේ තණතීරුවක ඒ වගේ ක්‍රීඩකයින් ඉන්න කණ්ඩායමක් එක්ක ඉතාමත් හොඳ ධනාත්මක විදිහේ මානසිකත්වයක් තියාගෙන අපේ කණ්ඩායම සෙල්ලම් කළා. නායක දුනිත් වෙල්ලාලගේ ඉතාමත් හොඳින් කණ්ඩායම මෙහෙයවනවා.”

මතීෂ පතිරණ ඉතාමත් හොඳ පාලනයකින් සහ වේගයක් රඳවා ගෙන ඔහුගේ පන්දු යැවීම සිදු කරනවා. පන්දුව පරණ වුනායින් පස්සේ අන්තිම පන්දුවාරවල දී ඔහුව පන්දු යවන්න අරගෙන එන එකේ ලොකු වාසියක් අපිට තියෙනවා කියලා හිතෙනවා”, යැයි අවිශ්ක අවසන් ලෙස පැවසුවා.

14 වැනි වරට පැවැත්වීමට නියමිත 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයක් සඳහා පැමිණ තිබෙන්නේ 2000 වසරේ දී පමණයි. මලින්ත ගජනායකගේ නායකත්වය යටතේ එම අවසන් මහා තරගයට පැමිණි සත්කාරක ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජයට පත්වුනා.

මෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ,

  • A – බංග්ලාදේශය, කැනඩාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය
  • B – ඉන්දියාව, අයර්ලන්තය, දකුණු අප්‍රිකාව, උගන්ඩාව
  • C – ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, පැපුවා නිව් ගිනියා, සිම්බාබ්වේ
  • D – ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන,

  • උගන්ඩාව – ජනවාරි 10 – ගයානා හිදී (පුහුණු තරගය)
  • අයර්ලන්තය – ජනවාරි 12 – ගයානා හිදී (පුහුණු තරගය)
  • ස්කොට්ලන්තය – ජනවාරි 14 – Guyana හිදී
  • ඕස්ට්‍රේලියාව – ජනවාරි 17 – Saint Kitts and Nevis හිදී
  • බටහිර ඉන්දීය කොදෙව් – ජනවාරි 21 – Saint Kitts and Nevis හිදී

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<