භානුක රාජපක්ෂ නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

14499

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් සිය විශ්‍රාම ගැනීම තහවුරු කර තිබෙනවා.

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වීම ඔහුට අසීරු කාර්යයක් වීමට ඉඩක් තිබෙන නිසා ඔහු මේ තීරණය රැගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ. කෙසේ නමුත් භානුක අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලි සහ විදෙස් ලීග් තරගාවලි සඳහා සහභාගී වනු ඇති අතර ඔහු ඉදිරියේ දී විදෙස්ගත වීමට ද ඉඩක් තිබෙන බව දැන ගන්නට ලැබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙන්නේ තමා සතු පවුල් වගකීම් නිසා මේ තීරණය සඳහා එළැඹි බවයි.

“මම ක්‍රීඩකයෙකු ලෙස මගේ ස්ථානය ගැනත්, ස්වාමිපුරුෂයෙකු ලෙස මගේ තත්වය ඉතාමත් හොඳින් සලකා බැලූ අතර, ඉදිරියේ දී අපේක්ෂාවෙන් සිටින පිය පදවිය සහ ඒ ආශ්‍රිත පවුල් බැඳීම් බලාපොරොත්තුවෙන් මම මෙම තීරණය ගන්නවා.” යැයි ඔහු සිය සමුගැනීමේ ලිපියේ සඳහන් කර තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව මැන බලන කඩඉම තවත් දැඩි කරමින් කිලෝමීටර දෙකක දුර ප්‍රමාණය මිනිත්තු 8කුත් තත්පර 10ක කාලයක් දක්වා අඩු කරනු ලැබුවා. එය මීට පෙර තිබුණේ මිනිත්තු 8කුත් තත්පර 35ක කාල පරාසයක් තුලයි.

එපමණක් නොව skin-folds අගය 80 සිට 70 දක්වා අඩු කිරීම යන කරුණු කාරණා සැලකිල්ලට ගෙන භානුක හදිසියේම මේ විශ්‍රාම ගැනීමේ තීරණයට එළඹ තිබෙනවා.

වයස අවුරුදු 30ක් වන භානුක මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 5කට සහ විස්සයි විස්ස තරග 18කට ක්‍රීඩා කරමින් මුළු ලකුණු 409ක් ලබාගෙන තිබෙනවා.

එක්දින අර්ධ ශතකයක් සහ විස්සයි විස්ස අර්ධ ශතක දෙකක් ඔහුගේ නමට ඉදිරියෙන් සටහන් වී තිබෙන අතර විස්සයි විස්ස පිටියේ ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 136+කට වඩා වැඩි අගයක් ගන්නවා.

නිමා වූ ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ඉනිම් 6ක් තුල 143.51ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන ලකුණු 155ක් රැස්කිරීමට භානුක සමත් වුනා.

පසුගිය දා අවසන් වූ LPL ක්‍රිකට් තරගාවලියේ Galle Gladiators අනුශූරතාවය දක්වා රැගෙන යාමට භානුක සමත් වූ අතර 2020 පැවති පළමු LPL තරගාවලියේ දී ද ඔහු නායකයෙක් ලෙස එම දස්කම දැක්වූවා. තවද භානුක 2021/22 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ දී Chennai Braves කණ්ඩායම ද නියෝජනය කළා.

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය මේ මස 16 වැනිදා සිට 21 දක්වා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීමට පෙර සිදු කරනු ලබන මූලික ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මේ මස 7 වැනිදා කොළඹ සුගතදාස ජාත්‍යන්තර පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජනවාරි 16
  • දෙවැනි එක්දින තරගය – ජනවාරි 18
  • තෙවැනි එක්දින තරගය – ජනවාරි 21

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<