භානුකට සන්නාම තානාපති තනතුරක්

1616

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ Chariot ආයතනයේ සන්නාම තානාපතිවරයෙක් ලෙස තෝරා පත් කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආහාර කර්මාන්තය තුල ඉහළින්ම රැඳී තිබෙන මේ වෙළඳ සන්නාමය 1986 වසරේ සිට Chariot යන වෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාව තුල ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කර තිබෙන අතර 2019 වසරේ සිට එම ආයතනය Asriel වෙළඳ සමූහ ව්‍යාපාරයේ එක් සේවාවක් ලෙස පවත්වා ගෙන යනු ලබනවා.

භානුක රාජපක්ෂට සන්නාම තානාපති තනතුර (Brand Ambassador) පිරිනැමීම වෙනුවෙන් පැවැත්වුණු උත්සවයේ දී මෙසේ අදහස් දක්වා සිටියා.

“දැනට මම IPL තරගාවලිය ඉලක්ක කරගෙන Chariot ආයතනයේ සන්නාම තානාපතිවරයෙක් විදිහට ගිවිසුම් ගත වෙලා තියෙනවා. Chariot ආයතනය ක්‍රිකට් ක්‍රීඩාව නගාසිටුවීම වෙනුවෙන් ගොඩක් අතහිත ලබාදෙන වෙළඳ සන්නාමයක්. ඔවුන් ඉදිරි කාලයේ දී අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තවත් වැඩ කටයුතු රැසක් කරන්න සැලසුම් සකස් කරලා තිබෙනවා.

Chariot ආයතනයේ සන්නාම තානාපතිවරයෙක් විදිහට මාව තෝරාගැනීම ගැන මම Chariot ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉදිරියේ දීත් මම ඔවුන් සමඟ වැඩ කටයුතු සිදු කිරීමට ගොඩක් ආසාවෙන් ඉන්නවා”.

“අපි අපගේ දරුවන්ව රැකබලාගෙන පෝෂණය කරනවා වගේ තමයි අපි අපේ පාරිභෝගිකයින්ටත් සලකන්නේ, එය අපේ මේ ව්‍යාපාරය තුල පවත්වා ගෙන යන ප්‍රධාන එක් මූලධර්මයක්. අපි සෑමවිටම බලන්නේ අලුත් දේවල් කරන ගමන්, මේ තරගකාරී ලෝකය තුල ඉදිරියට යන අතරම අපේ පාරිභෝගිකයින්ට ගුණාත්මක සහ හොඳම දේ ලබා දෙන්නයි”, යැයි Asriel වෙළඳ සමූහ ව්‍යාපාරයේ සහ Chariot ආයතනයේ සභාපති ශිරාන් පීරිස් මහතා පැවසුවා.

Photos – Bhanuka Rajapaksa Signs as Chariot Brand Ambassador

“ඒ වගේම තමයි අපි මේ ව්‍යාපාරය මේ තැනට අරගෙන ආවේ ලොකු කැපකිරීම් රැසක් කරලා. ඉතින් ඒ වගේ කැපකිරීම් කරපු තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන භානුක වගේ කෙනෙක්ව අපි අපගේ සන්නාම තානාපති විදිහට තෝරාගන්නත් ඒක ලොකු හේතුවක්

වුනා. භානුක වගේ දක්ෂ ක්‍රීඩකයෙක් අපේ වෙළඳ සන්නාමයත් එක්ක එකතු වෙලා ඉන්න එක අපිටත් අපේ ඉදිරි ගමනටත් විශාල සවියක් ,” යැයි පිරිස් මහතා වැඩිදුරටත් පවසා සිටියා.

ආසියාව තුල මෙන්ම ශ්‍රී ලංකාව තුල ද සම්මාන රාශියක් දිනාගෙන තිබෙන Asriel වෙළඳ සමූහ ව්‍යාපාරය, මේ වන විට සේවකයින් 300කට අධික ප්‍රමාණයක් සේවය කරන, මාසිකව පාරිභෝගිකයන් 1500කට අධික ප්‍රමාණයක් සමඟ ගනුදෙනු කරන ඉහළ පෙළේ වෙළඳ සන්නාමයක් සහිත ආයතනයක්.

කොළඹ Shangri-La හෝටල් පරිශ්‍රයේ දී ඊයේ (9) සවස පැවති මේ උත්සවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ, Asriel වෙළඳ සමූහ ව්‍යාපාරයේ සභාපති ශිරාන් පීරිස් මහතා, Chariot ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක දිමුතු පීරිස් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Punjab Kings වෙනුවෙන් ක්‍රීඩා කරන භානුක අද (10) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<