සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් ක්‍රීඩාවේ ජීව ගුණය ගැන පාඩමක්

8876
Benevolent gesture by big-hearted Antonians to Science College translated

සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළඟ ශූරතාවය සඳහා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයත් ගල්කිස්ස විද්‍යා විද්‍යාලයත් අතර මහනුවර දී පැවති තරගය අතරතුර සිදු වූ අනතුරක් හේතුවෙන් විද්‍යා විද්‍යාලයීය කණ්ඩායමේ 17 හැවිරිදි සන්තුෂ් අයුෂ්මන්ත හිසෙහි ආබාධයකට ලක්වූ අතර එහි දී ඔහුට අවශ්‍ය උදව් උපකාර සිදු කිරීම සඳහා සාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි සිසුන් එක්වී ඇත.

සති 11ක උද්වේගකර පාසල් රග්බි සමය නිමාවෙයි

සති 11ක කාලයක් පුරා පැවති පාසල් රග්බි ලීග් තරගාවලිය නිමාවට පත්වූයේ කොළඹ රාජකීය විද්‍යාලය වසර 2 කට පසුව තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියමිනි.

පසුගිය 20 වෙනි ඉරිදා කණ්ඩායම් දෙක අතර පැවති තරගයේ දී මෙම සිදුවීම සිදු වූ අතර විද්‍යා විද්‍යාලයේ සන්තුෂ් අයුෂ්මන්ත හා ඔහුගේ කණ්ඩායමේම තවත් ක්‍රීඩකයෙක් පන්දුව හඹා යාමේ දී එකිනෙකා ගැටී ඇත. ඉන් අනතුරුව මඳ වේලාවක් සඳහා සන්තුෂ් සාමාන්‍ය පරිදි ක්‍රීඩා කළ නමුත් මිනිත්තු කිහිපයකට පසු ඔහු ක්‍රීඩා පිටිය මතට සිහිසුන් වී ඇද වැටුණි. පසුව අනාවරණය වූයේ සිදු වූ අනතුර හේතුවෙන් ඔහුගේ හිස තුළ ලේ වහනය වීමක් සිදු වී ඇති බවයි. එදිනම රාත්‍රියේ ඔහුව සැත්කමකට භාජනය කරන ලදි.

ඔහුව ඉක්මන් ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත රැගෙන යාමට වෛද්‍ය කණ්ඩායම් කටයුතු කළ අතර අද (23) වන විට ලැබී ඇති වෛද්‍ය පරීක්ෂණ වාර්තා වලට අනුව ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.

ThePapare.com අපිට ලැබුණු තොරතුරු වලට අනුව සාන්ත අන්තෝනි විද්‍යාලයේ ක්‍රීඩකයින් මෙන්ම ආදි සිසුන් ද විශාල සංඛ්‍යාවක් සන්තුෂ්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව සොයා බැලීම සඳහා මහනුවර මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ගොස් ඇත.

එමෙන්ම දින දෙකක් වැනි කෙටි කාලයක් තුළ දී සාන්ත අන්තෝනි විදුහලේ ආදි සිසුන් එක්ව රුපියල් ලක්ෂ 6ක මුදලක් එකතු කොට සන්තුෂ් වෙනුවෙන් ලබා දී ඇත.

සාන්ත අන්තෝනි විද්‍යාලයේ ක්‍රීඩකයින් මෙන්ම ආදි සිසුන් මෙවන් අවශ්‍යම මොහොතක කටයුතු කළ ආකාරය සැබවින්ම ඇගයීමට ලක්විය යුතුය. විද්‍යා විද්‍යාලයට මෙම රග්බි සමය එතරම් සාර්ථක සමයක් නොවුණු අතර ඔවුන් හමුවේ පැවති මූල්‍යමය අපහසුතා එයට බෙහෙවින් බලපෑවේය. එමෙන්ම ඔවුන්ට මුහුණ දීමට සිදු වූ මූල්‍යමය අපහසුතා නිසා ඔවුන්ට පසුගිය වසරේ පිළිමළුන් පිටු දැකීමේ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියෙන් ද තම පාසලේ නම ඉවත් කර ගැනීමට සිදුවිය.

විද්‍යා විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරන සන්තුෂ්ට පසුගිය වසරේ දී ඔහුගේ පියා අහිමි වූ අතර ඔහු සිටින්නේ තම මව සමඟයි. එමනිසා සාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි සිසුන් ලබා දුන් මූල්‍යමය ආධාරය ඔහුගේ ආබාධය සම්බන්ධ වෛද්‍ය කටයුතු වලට මහත් සහයෝගයක් වනු ඇති අතර මෙම අනතුර නිසා ඔහු රග්බි ක්‍රීඩාවට දක්වන උනන්දුව අඩු නොවනු ඇතැයි අපි සිතමු.

ThePapare.com සමඟ අදහස් දැක්වූ විද්‍යා විද්‍යාලයේ රග්බි ක්‍රීඩාවට සහයෝගය දැක්වීම සඳහා පිහිටුවා ගෙන ඇති කණ්ඩායමේ සාමාජිකයෙක් ප්‍රකාශ කර සිටියේ;

“විද්‍යා විද්‍යාලයේ අපි, ඔබ සැමදෙනා මෙම සිදුවීමේ දී දැක්වූ සහයෝගය පිළිබඳව ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එකිනෙකා අතර තරග වදිද්දී තිබෙන වෙනස්කම් වලට වඩා මනුෂ්‍යත්වය වැදගත් බව ගොඩදෙනෙක් සිතුවේ නැතත් ඒ විදිහට සිතන අය අදටත් සිටින බව මේ සිදුවීමෙන් ඔප්පු වෙනවා. අපිට අපේ ක්‍රීඩකයන්ගේ දෛනික අවශ්‍යතාවන් පවා සම්පූර්ණ කරන්න අපහසු සමයක ඔබ සැමදෙනා ලබා දුන්න සෑම රුපියලක්ම සන්තුෂ්ට ලොකු සහයෝගයක් වෙයි. ඒ වගේම අපි ඔබට සහතික වෙනවා ඔබ ලබා දුන්න මුදල සන්තුෂ්ගේ යහපත වෙනුවෙන් වැය කරන බවට. ඒ කටයුතු වලට අදාළ තොරතුරු සුදුසු අවස්ථාවක ලබා දෙන්නම්.”

වර්තමානයේ දී පාසල් කණ්ඩායම් සියල්ලම පාහේ ශූරතාවන් දිනා ගෙන කීර්තියක් අත්කර ගැනීම උදෙසා එකිනෙකා අතර දැඩි සටනක නිරත වන අතර එම සටනේ බොහෝ අවස්ථාවල දී ක්‍රීඩාවේ සාරධර්ම මෙන්ම සැබෑ ජීවගුණය ද ක්‍රීඩකයින් අතින් පිරිහීමකට ලක්වේ. නමුත් මෙවැනි සිදුවීම් තුළින් වරින් වර අපට සිහිපත් කෙරෙන්නේ ක්‍රීඩාවේ ජීවගුණය තවමත් ජීවමාන බවයි. ඒ අනුව මෙම සිදුවීමේ දී ක්‍රියා කළ ආකාරය තුළින් එය අපට නැවතත් සිහිපත් කර දුන් මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ ක්‍රීඩකයින්, ආදි සිසුන් ඇතුළු සියලුම දෙනා නිසි ඇගයීමකට ලක්විය යුතුය.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට