CCC සහ හලාවත මේරියන්ස් ජයග්‍රහණ වාර්තා කරයි

1212
SLC Premier League 2016/17 Tier A 4th December roundup

දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂයින් සොයා යන ප්‍රිමියර් ලීග් තරග වාරයේ A කාණ්ඩය නියෝජනය කරමින් තරග 5ක් අද (04) ක්‍රියාත්මක විය. ඉන් තරග හතරක් අද නිමාව දුටු අතර ඒ අතුරින් ජයග්‍රහණ හිමිකර ගන්නට හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය (CCC) සමත් විය.

පසුගිය ලිපි: දික්වැල්ලගේ ප්‍රහාරාත්මක ඉනිම NCC ඉනිම බලගන්වයි

බදුරලිය ක්‍රීඩා සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

කටුනාය‍ක FTZ පිටියේදී අද නිමාවූ මෙම තරගයෙන් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට ලකුණු 291ක පහසු ජයක් හිමිවිය. තරගය පුරාවට බදුරලිය ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් පිත්තෙන් අසාර්ථක වීම ඔවුන්ගේ පසුබෑමට බොහෝ සෙයින් හේතු විය.

මුල් ඉනිමේ හලාවත ක්‍රීඩකයින් රැස්කල ලකුණු 235ට පිලිතුරු ලෙස ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 113ක් පමණි. හලාවත මේරියන්ස් පිතිකරුවන් සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 262ක් රැස් කරමින් ජයග්‍රහණය සඳහා ලකුණු 385ක ඉලක්කයක් බදුරලිය ක්‍රීඩා සමාජයට ලබා දුන්නේය. නමුත් ඊට පිලිතුරු වශයෙන් බදුරලිය පිතිකරුවන් රැස් කලේ ලකුණු 93ක් පමණි. තම දඟ පන්දුවෙන් බදුරලිය පිතිකරුවන් මෙල්ල කල මධූක ලියනපතිරණගේ තරගය පුරාවට ලකුණු 64ට කඩුලු 10ක් ද, මලින්ද පුෂ්පකුමාර ලකුණු 88ට කඩුලු 10ක් ද බිඳ හෙලීය. හලාවත ක්‍රිකට් සමාජය වෙනුවෙන් පිත්තෙන් වැඩි දායකත්වයක් දැක්වූ මහේල උඩවත්ත ප්‍රථම ඉනිමේ ලකුණු 69ක් ද, දෙවැනි ඉනිමේ ලකුණු 73ක් ද රැස් කලේය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 235 (පන්දුවාර 79.3): මහේල උඩවත්ත 69, සචිත්‍ර සේරසිංහ 34, කසුන් විදුර 33, අලංකාර අසංක 5/102, නුවන් කරුණාරත්න 3/35.

බදුරලිය ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 113 (පන්දුවාර 44): ශෙහාන් ප්‍රනාන්දු 25, මතීෂ පෙරේරා 24, මලින්ද පුෂ්පකුමාර 6/41.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – (දෙවැනි ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 262 (පන්දුවාර 59.2): මහේල උඩවත්ත 73, විදුර අධිකාරි 45, රුක්ෂාන් ප්‍රනාන්දු 41*, තික්ෂිල ද සිල්වා 34, අලංකාර අසංක 4/104.

බදුරලිය ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 93 (පන්දුවාර 25.1): සාලිය සමන් 24*, මලින්ද පුෂ්පකුමාර 4/47, මධූක ලියනපතිරණගේ 6/36.


සැරසන්ස් සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ CCC ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයෙන් සැරසන්ස් ක්‍රීඩකයින්ට එරෙහිව ලකුණු 109ක ජයක් ලබන්නට සත්කාරක කොළඹ ක්‍රිකට් සමාජය සමත් විය. තරග ජයග්‍රහණය සඳහා දෙවැනි ඉනිමේදී අවශ්‍ය වූ ලකුණු 231 හඹාගිය සැරසන්ස් පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 121ක් පමණි.

CCC දෙවැනි ඉනිමට ජයග්‍රාහී ලකුණු සීමාව අසලකටවත් ලඟා වන්නට ඉඩ නොදුන් ලක්ෂාන් සඳකැන් සහ අශාන් ප්‍රියන්ජන් සිය දඟ පන්දුවෙන් උපරිම ඵල නෙලා ගනිමින් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ. CCC ඉනිම දෙකේදීම පිත්තෙන් සාර්ථක වූ තවමත් 19 වැනි වියේ පසුවන දකුණත් පිතිකරු වනිඳු හසරංග ප්‍රථම ඉනිමේ ලකුණු 52ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 64ක් වාර්තා කිරීමට සමත් විය. ඔහුගේ මෙම දක්ෂතාවය CCC කණ්ඩායමේ පිතිකරණ අංශය සවිමත් කරමින් ජයග්‍රහණය සුරක්ෂිත කර ගැනීමට මනා පිටිවහලක් විය.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 195 (පන්දුවාර 52.2): සචිත් පතිරණ 59, වනිඳු හසරංග 52, කුසල් මෙන්ඩිස් 24, කසුන් රාජිත 6/59, සුරාජ් රන්දිව් 2/53.

සැරසන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 173 (පන්දුවාර 52): ඉරෝෂ් සමරසූරිය 69, දෙනුවන් රාජකරුණා 29, ලහිරු ගමගේ 3/38, ලක්ෂාන් සඳකැන් 3/38.

කොළඹ ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) -සියල්ලන්ම දැවී ලකුණු 208 (පන්දුවාර 46.3): වනිඳු හසරංග 64, ලසිත් අබේරත්න 34, සචිත් පතිරණ 33, චතුර රන්දුනු 5/66, සුරාජ් රන්දිව් 3/33.

සැරසන්ස් ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 121 (පන්දුවාර 37.2): හර්ෂ කුරේ 31, උමේෂ් කරුණාරත්න 29, ලක්ෂාන් සඳකැන් 3/28, ලහිරු ගමගේ 2/31.


SSC සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය දෙපිළෙන්ම දැවැන්ත ලකුණු සංඛ්‍යා වාර්තා වූවක් බවට පත්විය. එබැවින්ම තරගය නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරවයි. දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක රැස් කල ශතක වලින් සවිමත් වූ SSC කණ්ඩායම ප්‍රථම ඉනිම සඳහා ලකුණු 503ක් රැස් කිරීමට සමත් විය.

නමුත් තරගය තමන්ගෙන් ගිලිහෙන්නට ඉඩ නොදුන් ටැමිල් යූනියන් පිතිකරුවන්ද ලකුණු 460කින් ඊට ප්‍රතිචාර දැක්වීය. ඒ වෙනුවෙන් වැඩිම දායකත්වය සැපයූ ටැමිල් යූනියන් නායක කිත්රුවන් විතානගේ හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 125ක් වාර්තා කළේය. තරගය ජය පරාජයෙන් තොරව නිමාවන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි SSC පිතිකරුවෝ එක් කඩුල්ලක් දැවී ලකුණු 51ක් ලබා සිටියහ.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 503 (පන්දුවාර 127.4): දිමුත් කරුණාරත්න 149, ධනුෂ්ක ගුණතිලක 117, චරිත් අසලංක 57, දසුන් ශානක 51, පුළිණ තරංග 2/67, චාමික කරුණාරත්න 2/104.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 460 (පන්දුවාර 121.5): කිත්රුවන් විතානගේ 125, දිනුක් වික්‍රමනායක 86, තරංග පරණවිතාන 66, චාමික කරුණානායක 71, ජෙෆ්‍ර්‍රි වැන්ඩර්සේ 5/110, තරිඳු රත්නායක 3/108.

සිංහල ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 51 (පන්දුවාර 13.4): කෞෂාල් සිල්වා 27*, චාමර කපුගෙදර 23.


යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ BRC කණ්ඩායම අතර තරගය

පනාගොඩ යුධ හමුදා ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය අද නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරවයි. මෙහිදී තරග ජයග්‍රහණය සඳහා ලකුණු 300ක ඉලක්කයක් හඹා ගිය BRC පිතිකරුවෝ තෙවැනි දිනය නිමා වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 192ක් ලබා සිටියහ.

යුධ හමුදා ප්‍රථම ඉනිම වෙනුවෙන් අසේල ගුණරත්නගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු 158 තරගය පුරාවට වාර්තා වූ එකම ශතකය බවට පත්විය. BRC කණ්ඩායම වෙනුවෙන් විකුම් බණ්ඩාර ලකුණු 73ට කඩුලු 6ක් දවාලමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 316 (පන්දුවාර 98.1): අසේල ගුණරත්න 158, ලක්ෂික මධුෂාන් 67, කසුන් ද සිල්වා 32, විකුම් බණ්ඩාර 6/73, දිනුක් හෙට්ටිආරච්චි 3/98.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 219 (පන්දුවාර 67.4): රුමේෂ් බුද්ධික 92, ලිසුර ලක්ෂාන් 60, විරාජ් පුෂ්පකුමාර 4/57.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 202 (පන්දුවාර 64.2): අසේල ගුණරත්න 69, සන්ජික රිද්ම 56*, දිනුක් හෙට්ටිආරච්චි 4/63, දෙවින් පත්මනාදන් 2/36, ටී.එම්. සම්පත් 2/62.

BRC – කඩුලු 6ක් දැවී ලකුණු 192 (පන්දුවාර 36): රුමේෂ් බුද්ධික 44, ලිසුල ලක්ෂාන් 41, හෂේන් රාමනායක 31, ජනිත් සිල්වා 2/14, විරාජ් පුෂ්පකුමාර 2/85.


NCC සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය

NCC කණ්ඩායම සත්කාරකත්වය දරන මෙම තරගයේ දෙවැනි දිනය අද නිමාවට පත්වූ අතර මේ වනවිට බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම තරගය ජය පරාජයෙන් තොරව නිමාකර ගැනීමේ සටනක යෙදී සිටියි.

මුලින් පන්දුවට පහර දුන් NCC ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 443ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර ඒ සඳහා නිරෝෂන් දික්වැල්ල ලකුණු 183කින් ආධාර විය. මෙම ලකුණු සංඛ්‍යාව හඹාගිය බ්ලූම්ෆීල්ඩ් පිතිකරුවන් සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 200ක් පමණි. ආබාධ තත්වය නිසාවෙන් කලක් ක්‍රීඩාවෙන් ඈත්ව සිටි දුෂ්මන්ත චමීර මෙහිදී NCC කණ්ඩායම වෙනුවෙන් ලකුණු 28කට කඩුලු 2ක් බිඳ හෙලීය. තරිඳු කෞෂාල් ලකුණු 73ට කඩුලු 3යි.

අසාර්ථක ප්‍රථම ඉනිම නිසාවෙන් දෙවැනි වරටත් පන්දුවට පහර දීමට සිදුවූ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයින් දෙවැනි දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 94ක් ලබා සිටියි. ඒ අනුව ඔවුන් NCC ප්‍රථම ඉනිමට වඩා ලකුණු 149ක් පසුපසින් සිටින්නේ කඩුලු 9ක් අතැතිවයි.

NCC – කඩුලු 9ක් දැවී ලකුණු 443 (පන්දුවාර 84): නිරෝෂන් දික්වැල්ල 183, ෆර්වීස් මහරුෆ් 67, සඳුන් වීරක්කොඩි 64, උපුල් තරංග 61, මලිත් ද සිල්වා 5/83.

බ්ලූම්ෆීල්ඩ් – සියල්ලන්ම දැවී ලකුණු 200 (පන්දුවාර 64.4): ආලෝක අමරසිරි 87*, නිපුන් කරුණානායක 30, තරිඳු කෞෂාල් 3/73, ෆර්වීස් මහරූෆ් 2/15, දුෂ්මන්ත චමීර 2/28.

බ්ලූම්ෆීල්ඩ් (දෙවැනි ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 94 (පන්දුවාර 27): ලහිරු ජයකොඩි 56*, නිසල් ෆ්‍රැන්සිස්කෝ 32*.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට