T20 ලෝක කුසලානය අවසානයේ දී ඉන්දියාවට දැවැන්ත ආදායමක්

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021

1542

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඇමෙරිකානු ඩොලර් 12ක ලාභයක් උපයා ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩලයට හැකි වනු ඇතැයි එහි සංවිධායකයින් ඇස්තමේන්තුගත කර තිබෙනවා.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් හා ඕමාන් යන රාජ්‍යවල පැවැත්වුනත්, නිල සත්කාරක රාජ්‍ය ලෙස කටයුතු කරන්නේ ඉන්දියාවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා ඇ.ඩො. මිලියන හතක් හා ඕමානය වෙත ඇ.ඩෝ. 400,000ක් ගෙවීමට මෙවර ලෝක කුසලානයේ නිල සත්කාරකත්වය දරනු ලබන ඉන්දියාව තීරණය කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා ගෙවනු ලබන ඇ.ඩො. මිලියන හතක ප්‍රමාණයෙන් මිලියන 5.5ක ප්‍රමාණයක් ඒ තරග සඳහා අවශ්‍ය පහසකම් සැලසීම සඳහා වෙන්කර තිබෙන අතර ඉතිරි ඇ.ඩො මිලියන 1.5ක ප්‍රමාණය ලබා දී තිබෙන්නේ ඔවුන්ගේ සත්කාරකත්වය සඳහායි.

මීට අමතරව එම රටවල් වල සංවිධානය වන තරගවල ප්‍රවේශපත් අලෙවියෙන් ලැබෙන සම්පූර්ණ මුදල ද ඒ ඒ රටවලටම ලබා දීමට ද ඉන්දීයාව තීරණය කොට තිබෙනවා.

ඉන්දියාවෙන් පිටත මෙම තරගාවලිය පැවත්වීමට තීරණය කෙරුණේ එරට කොරෝනා වසංගතය නිසා ඇති වූ අයහපත් තත්වය හේතුවෙන්. මේ තරගාවලියේ තරග 39ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා තරග 6ක් ඕමානයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගය මේ මස 17 වැනිදා ඕමානය සහ පැපුවා නිව් ගිනියාව අතර ඕමානයේ දී පැවැත්වෙනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇතුළු ලොව පුරා දෙස් විදෙස් කෙළිබිමේ තතු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

Cricbuzz ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<