නුවනිඳු ශතකයක් සහ කඩුලු 4ක් සමඟින් මොරටුව හොල්ලයි

312

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර 69 වැනි වරට පැවති “මොරටු මහා රන් සටන” අද (16) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ජය-පරාජයෙන් තොරව අවසන් වූයේ සාන්ත සෙබස්තියානු ක්‍රීඩකයින් තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය හිමිකර ගනිමිනි.  

සුවත් විශිෂ්ට ඉනිමක් දියත් කරද්දී නුවනිඳුගෙන් කඩුලු 4ක්

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය….

තරගයේ පළමු දිනය වූ ඊයේ (15) දිනයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 194ක් ලබා ගන්නට සමත් වූ අතර දිනය අවසන් වන විට ඊට පිළිතුරු ලෙස සාන්ත සෙබස්තියානුවන් එක් කඩුල්ලක් දැවී ලකුණු 43ක් ලබාගෙන සිටියේ නායක නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 23කුත්, දුනිත් ජයතුංග ලකුණු 19කුත් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටිමිනි.

පැහැබර කාලගුණ තත්වයක් යටතේ ආරම්භ වූ අද දිනයේ දී වේල්ස් කුමරුවන්ට තරගයට සාර්ථක ආරම්භයක් ලබා දුන් කෞමාල් නානායක්කාර විසින් සාන්ත සෙබස්තියානු ලකුණු පුවරුව ලකුණු 55ක් ලෙස දැක්වෙද්දී දුනිත් ජයතුංග ලකුණු 25කට නැවත ක්‍රීඩාගාරය බලා හරවා යැවීමට සමත් වූයේ ඔහුව ස්ටම්ප් කිරීමකට හසුකර ගනිමිනි.

Photos: Prince of Wales College vs St. Sebastian’s College | 69th Battle of the Golds – Day 2

අනතුරුව නායක නුවනිඳු සමඟින් පිටියේ එක්වූ සුකිත ප්‍රනාන්දු 3 වැනි කඩුල්ල සඳහා ලකුණු 54ක සබඳතාවක් එක්කරමින් සාන්ත සෙබස්තියානු ඉනිම ගොඩනඟන්නට සමත් විය. එහි දී හොඳින් පන්දුවට පහර දුන් නුවනිඳු ප්‍රනාන්දු වේල්ස් කුමර පන්දු යවන්නන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් අර්ධ ශතකයක් වාර්තා කරගන්නට සමත් විය. කෙසේ නමුත් එහි දී නැවතත් ක්‍රියාත්මක වූ කෞමාල් සාන්ත සෙබස්තියානු ලකුණු පුවරුව ලකුණු 109ක් ලෙස දැක්වෙද්දී ලකුණු 10ක් ලබා සිටි සුකිතගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූයේ එම සබඳතාවට තිත තබමිනි.

නුවනිඳු ලකුණු 61ක් ලබාගෙන සිටිය දී කෞමාල් යොමු කළ පන්දුවක් හමුවේ ලක්ෂාන් පෙරේරා හට පහසු උඩපන්දුවක් ලබා දුන්නත්, ඔහු එය රැකගැනීමට අපොහොසත් වූ අතර ඉන් උපරිම ප්‍රයෝජන ලබාගත් නුවනිඳු වේල්ස් කුමර පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් විශිෂ්ට ශතකයක් වාර්තා කර ගැනීමට සමත් වූයේ සාන්ත සෙබස්තියානු ඉනිම ප්‍රබල තත්වයකට රැගෙන යමිනි.

ලහිරු රාජකීයයින් ජයග්‍රහණය කරා රැගෙන යයි

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර 44 වැනි…..

කෙසේ නමුත් ඔහු ලකුණු 102ක් ලබාගෙන සිටිය දී කෞමාල් විසින් ඔහුගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූ අතර ඒ වන විට සාන්ත සෙබස්තියානු ලකුණු පුවරුව කඩුලු 4ට ලකුණු 150ක් ලෙස දැක්විය.

පසුව පිටියේ එක්වූ ජනිෂ්ක පෙරේරා සහ බිහඟ මෙන්ඩිස්ගේ සබඳතාව ලකුණු 6කට සීමා කළ ලක්ෂාන් විසින් සාන්ත සෙබස්තියානු ලකුණු පුවරුව ලකුණු 156ක් ලෙස දැක්වෙද්දී ලකුණු 17ක් ලබාගෙන සිටි ජනිෂ්ක ඔවුන්ගේ 5 වැනි කඩුල්ල ලෙස දවා ගැනීමට සමත් වූයේ සාන්ත සෙබස්තියානුවන්ව තරමක් අසීරු තත්වයකට ඇද දමමිනි.

කෙසේ නමුත් ඉන් අනතුරුව බිහඟ සමඟින් එක්වූ ප්‍රවීන් කුරේ වේල්ස් කුමර පන්දු යවන්නන්ට නොබියව පහර දෙමින් දැඩි අපහසුතාවයකින් තොරව සාන්ත සෙබස්තියානුවන්ව තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණයක් වෙත රැගෙන යන්නට සමත් වූයේ සිය 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 52ක අගනා සබඳතාවයක් එක්කරමිනි. ඒ අනුව සාන්ත සෙබස්තියන් කණ්ඩායම ලකුණු 208ක් වාර්තා කරගෙන හොඳ තත්වයක පසුවෙද්දී ප්‍රවීන් කුරේ ලකුණු 23කට දවා ගන්නට නදුක ප්‍රනාන්දු සමත් වූයේ තරගයේ සිය දෙවන කඩුල්ලට හිමිකම් කියමිනි.

කෞෂාන් සසංක ඌව රන් සටනේ දී ශතකයක් ලබා ගනී

බණ්ඩාරවෙල සාන්ත ජෝසප් විද්‍යාලය සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය….

පසුව කෙටි කාලයක් තුළ විනුජ රණසිංහ ලකුණු 01කට කාවින්ද ද මැල් විසිනුත්, බිහඟ ලකුණු 34කට කෞමාල් විසිනුත් දවා ගන්නට සමත් වූ අතර සාන්ත සෙබස්තියානු ඉනිම කඩුලු 8කට 220ක් ලෙස දැක්වෙද්දී ඔවුන් සිය පලමි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ වේල්ස් කුමර පළමු ඉනිමට වඩා ලකුණු 26ක් ඉදිරියෙන් පසුවෙමිනි. එහි දී වේල්ස් කුමර කණ්ඩායම වෙනුවෙන් කෞමාල් නානායක්කාර කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දක්වන්නට සමත් විය.

වේල්ස් කුමර දෙවන ඉනිම ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ සුපුරුදු ආරම්භක යුගළය වූ තරිඳු අමරසිංහ සහ විනුජ රන්පුල් පිටියට පිවිසෙද්දී සාන්ත සෙබස්තියානු කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කිරීමේ වගකීම සුපුරුදු පරිදි පැවරුණේ ඔවුන්ගේ උපනායක ටෂික් පෙරේරා වෙතයි. එහි දී විශිෂ්ට ආරම්භයක් ලබා ගත් ටෂික් ඔහු යොමු කළ පළමු පන්දුවෙන්ම තරිඳු නැවත ක්‍රීඩාගාරය බලා හරවා යවන්නට සමත් වූ අතර පසුව ඔහු යොමු කළ තුන්වැනි පන්දුවේ දී ඔමේෂ් මෙන්ඩිස් ද ලකුණු 02කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් නැවත ක්‍රීඩාගාරය බලා හරවා යවන්නට සමත් විය.

ඒ අනුව වේල්ස් කුමර කණ්ඩායම අසීරු තත්වයක් පසුවෙද්දී විනුජ සමඟින් පිටියේ එක්වූ දිනුර ප්‍රනාන්දු කෙමෙන් කෙමෙන් වේල්ස් කුමර ඉනිම ගොඩනඟන්නට සමත් විය. ඒ අනුව ඔවුන් දෙදෙනා 3 වන කඩුල්ල සඳහා ලකුණු 49ක සබඳතාවක් එක්කිරීමට සමත් වූ අතර තරගයේ අවසාන පන්දුවේ දී එම සබඳතාව අවසන් කළ නදීර ප්‍රනාන්දු විසින් විනුජ ලකුණු 34කට දවා ගන්නට සමත් විය.

ඒ අනුව 69 වන වරට පැවති මොරටු මහා රන් සටන 58 වන වරටත් ජය-පරාජයෙන් තොරව අවසානයට පත්වූ අතර එහි දී පළමු ඉනිමේ ජයග්‍රහණයත් සමඟ තරගයේ වැඩි ගෞරව හිමිකර ගන්නට සාන්ත සෙබස්තියානුවන් සමත් විය.

වේල්ස් කුමාර විද්‍යාලයීය පළමු ඉනිම: පන්දුවාර 78.5ක දී 194/10 – සුවත් මෙන්ඩිස් 78, දිනුර ප්‍රනාන්දු 44,නුවනිඳු ප්‍රනාන්දු 24/4, බිහඟ මෙන්ඩිස් 21/2, ප්‍රවීන් කුරේ 32/2

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පළමු ඉනිම: පන්දුවාර 86.2ක දී 220/8 dec – නුවනිඳු ප්‍රනාන්දු 102, බිහඟ මෙන්ඩිස් 34, කෞමාල් නානායක්කාර 79/4, නදුක ප්‍රනාන්දු 50/2    

වේල්ස් කුමාර විද්‍යාලයීය දෙවන ඉනිම: පන්දුවාර 22ක් අවසානයේ 51/3 – විනුජ රන්පුල් 32, දිනුර ප්‍රනාන්දු 15*, ටෂික් පෙරේරා 12/2, නදීර ප්‍රනාන්දු 03/1

විශේෂ සමාන

  • හොඳම පිතිකරු – සුවත් මෙන්ඩිස් (වේල්ස් කුමාර විද්‍යාලය)
  • හොඳම පන්දු යවන්නා – නුවනිඳු ප්‍රනාන්දු (සාන්ත සෙබස්තියන් විද්‍යාලය)
  • හොඳම පන්දු රකින්නා – දේවක පීරිස් (වේල්ස් කුමාර විද්‍යාලය)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – නුවනිඳු ප්‍රනාන්දු (සාන්ත සෙබස්තියන් විද්‍යාලය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<