ඩර්බන්හි වීරයෙකුගේ සිට ‘Cardiff’ හිදී අමතක වීම දක්වා

576

ශ්‍රී ලංකාවේ පිතිකරණ බලඇණිය කඩා වැටෙන අවස්ථාවල දී කුසල් ජනිත් පෙරේරා එය ඉහළට ඔසවා තැබීම ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් හට මේ වන විට ආගන්තුක දසුනක් නොවේ.

පසුගිය පෙබරවාරි මාසයේ දී දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර දී එදා මෙදා තුර ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ වාර්තා වූ විශිෂ්ටතම ඉනිමක් වාර්තා කර ගත් කුසල් ජනිත් ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව එක් කඩුල්ලක ජයග්‍රහණයකට තනිව රැගෙන යාමට සමත් වූයේ දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු ආසියාතික කණ්ඩායම වීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමිකරදීමේ අඩිතාලම සකස් කරමිනි.

ශ්‍රී ලංකාවේ මැද පෙළ අදත් අනාථයි

ලෝක කුසලාන ක්‍රිකට්තරගාවලියේ දෙවැනි තරගයට සහභාගී වෙන….

එහි දී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකුට අදහාගත නොහැකි ජයග්‍රහණයකට රැගෙන යමින් නොදැවී වාර්තා කර ගත් ලකුණු 153 ඔහු එක් ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද සටහන් වූ අතර තවදුරටත් ඔහු විශ්ව ප්‍රනාන්දු සමඟින් එක්ව අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟූ ලකුණු 78ක නොබිඳුණු සබඳතාවය ටෙස්ට් ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර සාර්ථක හඹා යාමක දී අවසන් කඩුල්ලට එක්වූ ඉහළම සබඳතාවය ලෙස ද වාර්තා පොත් අතරට එක්විය.

2013 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ එක්දින තරගාවලියේ ‘Gabba’ ක්‍රීඩාංගණයේ දී පැවති තුන්වැනි තරගයේ දී සිය ක්‍රිකට් දිවියේ දෙවන එක්දින තරගයට ක්‍රීඩා කළ ඒ වන විට 22 වැනි වියේ පසුවූ කුසල් ජනිත් නොදැවී ලකුණු 22ක් වාර්තා කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට රැගෙන යන්නට සමත් විය. අඩු ලකුණු තරගයක් වූ එම තරගයේ දී ඔහු වාර්තා කර ගත් එම ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 6ක් දැවී ලකුණු 75ක ජයග්‍රාහී ඉලක්කය කරා යන්නට ඉවහල් විය.

ඊයේ (04) ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව වේල්සයේ ‘Cardiff’ ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී කුසල් ජනිත්ව එක් ස්ථානයක් ඉදිරියට දමමින් ඔහුව නායක දිමුත් කරුණාරත්න සමඟින් ඉනිම ආරම්භ කිරීමට යෙදවීය. ඔවුන් දෙදෙනා නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම නින්දා සහගත පරාජයක් අත්විඳි පළමු තරගයේ දී දෙවන කඩුල්ල සඳහා ලකුණු 42ක සබඳතාවයක් එක්කරන්නට සමත් වූහ.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

ඔහු එම තීරණයට සාධාරණයක් ඉෂ්ට කරමින් තරගයේ දෙවන පන්දුවාරයේ පළමු සහ සිව්වැනි පන්දුවල දී අගනා හතරේ පහරවල් ද්විත්වයක් වාර්තා කරගනිමින් සිය සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණයන් දියත් කිරීම ආරම්භ කරන්නට විය. ඒ අනුව ඔහු සහ දිමුත් එක්ව ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් හමුවේ ප්‍රවේගකාරී පිතිහරඹයක් දියත් කරමින් තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගන්නට සමත් වූහ.  

ඔවුන් දෙදෙනා එක්ව පළමු පන්දුවාර 10 තුළ වාර්තා කර ගත් ලකුණු 79 මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් ‘powerplay’ පන්දුවාර තුළ වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වූ අතර තවදුරටත් ඔවුන් දෙදෙනා එහි දී පළමු කඩුල්ලට එක්කළ ලකුණු 92ක සබඳතාවය එක්සත් රාජධානියේ පවත්වා ඇති ලෝක කුසලාන තරගාවලි 5 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු කඩුල්ලට වාර්තා වූ ඉහළම සබඳතාවය ද විය.

සිසිල් පන් පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව පන්දුවාර 16ක දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 109ක් වාර්තා කරගනිමින් ස්ථාවර තත්වයක පසුවූ අතර ඒ අනුව තරගය ඔවුන්ගේ පාලනය යටතේ ඇති සේයාවක් දිස්වන්නට විය.

පසුගිය තරගයේ දී ලකුණු 136කට සියලු දෙනා දැවී යමින් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව අත්විඳි කටුක පරාජය සහ ඊට පෙර එක්දින තරග 9 තුළ ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව පමණක් ජයග්‍රහණයක් වාර්තා කරගැනීමට සමත් වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් ගිලිහී ගොස් තිබූ විශ්වාසය නැවතත් ඔවුන් වෙත ළඟා වී ඇති බවක් ද හැඟෙන්නට විය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක ගුලාබ්දීන් නයීබ්ට එරෙහිව අගනා ‘drive’ පහරක් එල්ල කරමින් කුසල් ජනිත් එහි දී සිය අර්ධ ශතකයට ළඟා වන විට ඔහු මුහුණ දී සිටි පන්දු 42න් ඔහු ලකුණු ලබා ගැනීමට සමත්ව නොතිබුණේ පන්දු 13ක දී පමණි.

කෙසේ නමුත් පන්දු 11ක කාලසීමාවක් තුළ ලකුණු 5කට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් දැවී යාමත් සමඟ ගොඩනැඟෙමින් පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසය නැවතත් කඩා වැටෙන්නට විය. කුසල් ජනිත් එහි දී නොදැවී රැඳෙන්නට සමත් වුවත් එහි දී ඔහු නිරත වෙමින් සිටියේ ඇෆ්ගනිස්ථාන දඟපන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් ඒ වන විටත් පරාජයට පත්වූ සටනක ය.

කණ්ඩායමේ ඇති නැති දේවල් ගැන මහේල කතා කරයි

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් ….

නමුත් ඔහු ඉනිම පුරාවට ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200ට ඉහළ ලකුණු සංඛ්‍යාවකට රැගෙන යනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ගේ විශ්වාසය විය.

කෙසේ නමුත් ඔහු ලකුණු 78ක් ලබාගෙන සිටිය දී රෂීඩ් ඛාන් යොමු කළ ‘googly’ පන්දුවක් හමුවේ ‘reverse-sweep’ පහරක් එල්ල කිරීමට තැත්කිරීමේ දී පන්දුව ඔහුගේ දෑත් ආවරණයේ වැදී කඩුලු රකින ක්‍රීඩක ,මොහොමඩ් ශසාඩ් හට යොමුවීමත් සමඟ ඔහු දැවී යන්නට විය.

ඒ අනුව කුසල් ජනිත්ගේ එම තනි උත්සාහය කණගාටුදායක අවසානයකට මුහුණ දුන් අතර ඔහු දැවී යාමෙන් අනතුරුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්වය තවත් නරක අතට හැරෙන්නට විය.

නැවතත් තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ලකුණු 201කට සියලු දෙනා දැවී යන විට කුසල් ජනිත්ට පසුව කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ලෙස සටහන්ව තිබුණේ ලකුණු 35ක් වාර්තා වී තිබූ අමතර ලකුණු ය. ඒත් සමඟම ඔහු එම වාර්තා කර ගත් ඉනිමේ වැදගත්කම තවදුරටත් ස්ථාපිත වන්නට විය.

ඒ අනුව ඒ ආකාරයට කුසල් ජනිත් පෙරේරා තවත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ බලඇණිය කඩා වැටෙද්දී නැවතත් ඒ වෙනුවෙන් තනිව නැඟී සිටින්නට සමත් විය.  

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<