ලෝක ටෙස්ට් ශූරයින් පරදවමින් බංග්ලාදේශයට ඉතිහාසගත ජයක්

4132

සංචාරක බංග්ලාදේශය සහ නවසීලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්තය පරදා කඩුලු 8ක ඉතිහාසගත ටෙස්ට් තරග ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයින්ට හැකි වුනා.

මෙය බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් ලැබූ හොඳම ජයග්‍රහණය ලෙස සැලකිය හැකි අතර මෙම ජයග්‍රහණය සමඟින් ලෝක ටෙස්ට් ශූරතාවයේ ප්‍රසාද ලකුණු 12ක් ලබා ගැනීමට ද සමත් වුනා.

වත්මන් ටෙස්ට් ලෝක ශූරයින් වන නවසීලන්තය 2017 වසරේ සිට සිය මව්බිමේ දී ටෙස්ට් තරග 17ක් සහ තරගාවලි 08ක් ජයග්‍රහණය කරමින් පවත්වා ගත් ආධිපත්‍ය බිඳ හෙළීමට ද බංග්ලාදේශයට හැකි වීම විශේෂත්වයක්.

නවසීලන්තයේ Bay Oval ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට නවසීලන්තයට ආරාධනා කළා.

එම ආරාධනාවෙන් පිටියට පිවිසි නවසීලන්තය සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 328ක් රැස් කිරීමට සමත් වූ අතර Conway ලකුණු 122ක්, Will Young ලකුණු 52ක් සහ Henry Nicholls ලකුණු 75ක් ලබා ගනිමින් නවසීලන්ත ඉනිම ශක්තිමත් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයින් නවසීලන්ත පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් වෙමින් සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 458ක් රැස් කළේ නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 130ක් ඉදිරියෙන් සිටිමිනුයි.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Mominul Haque ලකුණු 88ක්, Liton Das ලකුණු 86ක් සහ Mahmudul Hasan Joy ලකුණු 78ක් ලබා ගැනීමට සමත් වූ අතර පන්දු යැවීමේ දී Trent Boult ලකුණු 85කට කඩුලු හතරක් දවා ගත්තා.

Ebadot Hossainගේ සුපිරි පන්දු යැවීම හමුවේ අසරණ වූ නවසීලන්ත පිතිකරුවන් හට සිය දෙවැනි ඉනිම සඳහා සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 169ක් පමණක් වන අතර Will Young ලකුණු 69ක් සහ Ross Taylor ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නවසීලන්ත ඉනිම විනාශ කළ Ebadot Hossain ලකුණු 46කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වූ අතර ඉන්පසුව තරගයේ ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට ලැබුණු ඉලක්කය ලකුණු 40ක්.

එම ඉලක්කය පන්දුවාර 16.5ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී පසුකර යමින් සිය ටෙස්ට් ඉතිහාසය තුළ ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණය ලබා ගැනීමට බංග්ලාදේශ පිතිකරුවන්ට හැකි වුනා.

නවසීලන්ත දෙවැනි ඉනිම තුළ සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් තරගය පුරාවට කඩුලු 7ක් දවා ගත් බංග්ලාදේශ ක්‍රීඩක Ebadot Hossain තරගයේ වීරයා ලෙස අභිෂේක ලැබුවා.

බංග්ලාදේශ ක්‍රීඩකයින් මෙම තරගයේ පිහිටවූ වාර්තාවන්,

  • නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේ ලැබූ පළමු ජය (ඕනෑම ආකෘතියක)
  • නවසීලන්තයට එරෙහිව ලැබූ පළමු ටෙස්ට් ජය.
  • ICC ශ්‍රේණිගත කිරීමේ පළමු කණ්ඩායම පහෙන් එකකට එරෙහිව මව්බිමෙන් පිටත ලැබූ පළමු ජය.
  • මව්බිමෙන් පිටත දී ලැබූ හයවැනි ටෙස්ට් ජයග්‍රහණය.
  • නවසීලන්තය මව්බිමේ දී ටෙස්ට් තරගාවලි 8ක් සහ තරග 17ක් ජයග්‍රහණය කරමින් තැබූ අපරාජිත වාර්තාව අවසන් කිරීම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<