“IPL එළියට ගෙනියන්නේ ඉන්දියාවේ බැරිමනම් විතරයි” භාණ්ඩාගාරික

676

කොරෝනා වසංගතය නිසාවෙන් දින නියමයක් නොමැතිව කල් දැමුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13 වැනි අදියර පැවැත්වීම සඳහා ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ගත හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බව එහි භාණ්ඩාගාරික අරුන් ධුමාල් මහතා පවසා සිටියි.

ලංකාවෙන් ඉගෙන ගෙන එංගලන්ත පිතිකරුවා බර අඩුකරන්

මේ වන විට ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය IPL ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දැරීම සඳහා සූදානමින් සිටින බව පවසා තිබෙන අතර ඊට අමතරව නවසීලන්තයත් මේ සඳහා සත්කාරකත්වය දැක්වීමට සූදානමින් සිටින බව IPL තරග සංවිධායකයින් වෙත දන්වා ඇත. 

කෙසේ නමුත් කොරෝනා වසංගත තත්වය පාලනය කළ හැකි වේ නම් කෙසේ හෝ ඔවුන්ගේ රට තුලම IPL තරගාවලිය පැවැත්වීම සඳහා ගත හැකි සියලු පියවර ගන්නා බවත්, එය කළ නොහැකි නම් පමණක් විදේශ රටක් කෙරෙහි අවධානය යොමු කරන බවත් ඒ මහතා පවසා තිබේ.

පසුගිය මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුව අප්‍රේල් මාසය දක්වා කල් දැමුණු අතර පසුව ඉන්දීය රජය විසින් ගත් අගුළු දැමීමේ ක්‍රියාමාර්ග සමඟින් එය දින නියමයක් නොමැතිව කල්දැමීමට සංවිධායකයන් තීරණය කළේය.

“අපි පළමුව ඉන්දියාව තුල මේ තරගාවලිය තියන්න තමයි සැලසුම් කරමින් ඉන්නේ. එහෙම බැරි වුනොත් තමයි විදේශ රටක ඒ කියන්නේ ඉන්දියාවෙන් එළියට මේ තරගාවලිය අරගෙන යන්නේ. ඒ වගේම ඒ ඒ රටවල් වල නියෝජිතයින් මේ තරගාවලිය සංවිධානය කිරීම සඳහා තිබෙන පහසුකම් සහ සංවිධානය කරන ආකාරය ගැන අපිට ඉදිරියේ දී වාර්තාවක් එවනවා. ඒ වාර්තාවන් අපේ මීළඟ කමිටුවට (IPL තරග සංවිධායක කමිටුවට) ඉදිරිපත් කරලා සුදුසු තීරණයක් ඉක්මනටම ගන්න බලාපොරොත්තු වෙනවා” යැයි ධුමාල් රොයිටර් පුවත් සේවයට පැවසීය.

තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියාව තුල මේ වන විට COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යමින් පවතියි. දැනට වාර්තා වී තිබෙන නිල දත්ත වාර්තාවලට අනුව ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය හැරුණු විට වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී තිබෙන්නේ ඉන්දියාව තුළින් වීම නිසා එරට ජන ජීවිතය තවමත් පවතින්නේ අවදානම් සහගත තත්වයකයි.

“කොරෝනා වලට පහර දිය යුත්තේ පන්දුවට පහර දෙන ආකාරයටයි” – BCCI සභාපති

මේ වන විට පවතින තත්ත්වය අනුව සැප්තැම්බර් – ඔක්තෝබර් හෝ ඔක්තෝබර් – නොවැම්බර් අතර කාලවකවානු දෙකෙන් එකක් තුල ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය වඩාත් උනන්දු වනු ඇත. කෙසේ නමුත් හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළ ආකාරයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳව ගන්නා අවසන් තීරණය මත පදනම්ව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම සඳහා ඉඩප්‍රස්ථාවක් සොයා ගැනීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසු වේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් හි ගෙවී ගිය වසර 12ක තරග ඉතිහාසය බැලූ විට අවස්ථාවන් දෙකක දී තරගාවලිය ඉන්දියාවෙන් පිටත පවත්වා තිබේ. ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 2009 දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දකුණු අප්‍රිකාවට සහ 2014 වසරේ දී අර්ධ වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද ගෙන යාමට සිදු විය.

විස්සයි විස්ස ලෝක කුසලානයේ තිබෙන අවිනිශ්චිතතාවය නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් සංවිධායකයින් හට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ගැන අවසන් තීරණයකට පැමිණීමට නොහැකිව දැඩි පීඩනයකින් සිටින බවත්, එම තරගාවලිය පැවැත්වීමට නොහැකි වුවහොත් ඉන්දීය රුපියල් කෝටි 4000කට වැඩ වැඩි පාඩුවක් විඳ දරා ගැනීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයට සිදුවන බවත් ධුමාල් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<