නවසීලන්ත – ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලියම අත්හැර දමයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2022

616

සංචාරක ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර මේ වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත තරගාවලිය අවලංගු කිරීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා

ඒ, කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති නවසීලන්තයේ දේශ සීමා පාලන නීති හා නිරෝධායන නීති පදනම් කර ගනිමින්.

මාර්තු 17, 18 සහ 20 යන දිනවල දී Napier හිදී පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම සංචාරයේ දී දෙරට අතර විස්සයි විස්ස තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබුණා.

නවසීලන්ත රජය විසින් ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙන පුද්ගලයින් සඳහා නිරෝධායන නීති ලිහිල් කිරීමට කටයුතු කරනු ඇති බවට උපකල්පනය කරමින් දෙරටේ ක්‍රිකට් බලධාරීන් විසින් මේ තරගාවලිය සැලසුම් කර තිබුණු නමුත් එම නීති ලිහිල් කිරීමට මෙතෙක් නවසීලන්ත රජය කටයුතු කර නැහැ.

ඒ හේතුවෙන් පසුගිය ජනවාරි 30 වැනිදා සිට පෙබරවාරි 9 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ නවසීලන්ත කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය (එක්දින තරග 3ක් සහ එක් විස්සයි විස්ස තරගයක්) ද අත්හිටුවීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන්ට සිදු වුනා.

මේ අතර, නවසීලන්තය හා නෙදර්ලන්තය අතර මාර්තු 25 වැනිදා නවසීලන්තයේ Tauranga හීදී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ක්‍රිකට් තරගය ද Napier හීදී පැවැත්වීමට ද නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<