ටෙස්ට් පිටියට උදා වන අළු බඳුන වසන්තය

394
AFP PHOTO

පිටියේ සහ ඉන් පිටත කතා බහ, අදහස් උදහස් සහ උණුසුම් සිදුවීම් ගණනාවකට පසු හෙට (23) උදා වන්නේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ වඩාත්ම අවධානය යොමු වන ඉසව්වයි. 2017/18 අළු බඳුන තරගාවලිය අරඹමින් ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය හෙට (23) බ්‍රිස්බේන් නුවර ගබා ක්‍රීඩාංගණයට පිවිසෙනු ඇති.

මුම්බායි ඉන්දියන්ස් මාලිංගව එපා කියයි

අයි. පී. එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූ දා පටන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම…

වසර ගණනාවක ඉතිහාසයක් ඇති අළු බඳුන තරගාවලියේ මෙවර දිගහැරුම අපූර්ව නාටකයක් බවට පත් වන්නේ ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් මෙන්ම එංගලන්ත නායක ජෝ රූට් ද අළු බඳුන තරගාවලියක දී කණ්ඩායම මෙහෙයවන පළමු අවස්ථාව මෙය වීම හේතුවෙනුයි. එමෙන්ම කණ්ඩායම දෙකේම ප්‍රධාන පිතිකරණ තුරුම්පු ලෙස සැලකෙන්නේ ද මේ නායකයන් දෙපලම වීම විශේෂත්වයකි.

තරගාවලියට පිවිසීමක් ලෙස බොහෝ විචාරකයන්ගේ අවධානය යොමු වුනේ කණ්ඩායම් දෙකේ වේග පන්දු බල ඇණි වෙතයි. ඕස්ට්‍රේලියාවේ වේග පන්දු ත්‍රිත්වය වන මිචෙල් ස්ටාර්ක්, පැට් කමින්ග්ස් සහ ජෝෂ් හේසල්වුඩ් හට අභියෝග කරන සංචාරක වේග පන්දු ද්විත්වය වන ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් හැකියාවෙන් නොවන්නේ නම් අත්දැකීමෙන් නම් සත්කාරකයන් අභිබවා සිටී.

කෙසේ වෙතත් සත්කාරක ඕස්ට්‍රේලියාව පළමු තරගයේ දී වැඩි වාසි සමඟින් ආරම්භය ලබා ගන්නේ පිටියේ වාසිය හේතු කර ගනිමිනුයි. සත්කාරකයන්ගේ බලකොටුවක් බඳු ගබා ක්‍රීඩාංගණය තුල එංගලන්තයට මෑත කාලීනව නම් යහපත් අත්දැකීමක් මතකයට නගා ගැනීමට නොහැක. එංගලන්තය අවසන් වරට ගබා ක්‍රීඩාංගණයේ ටෙස්ට් ජයක මිහිර විඳ ඇත්තේ වත්මන් කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් උපත ලබන්නටත් පෙර එනම් 1986/ 87 තරග වාරයේ දී යි. ඔවුන්ගේ ආසන්නතම ගබා ටෙස්ට් අත්දැකීම 2013- 14 තරග වාරයේ ලද ලකුණු 381 ක දැවැන්ත පරාජයයි.

හතුරුසිංහ ශ්‍රී ලංකාවේ පුහුණුකරු වීම තහවුරු වේ?

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් මහතා ඉකුත් දා (20) මාධ්‍ය හමුවේ …

මිචෙල් ජොන්සන්ගේ විශිෂ්ට පන්දු යැවීමෙන් සවිය ලබා ජයගත් එම තරගය ඕස්ට්‍රේලියාවට තරග 5 – 0 ක පූර්ණ තරගාවලි ජයක් වෙත පාර කපන්නට ද සමත් වූ අතර, මෙම තරගාවලිය පිළිබඳ අනාවැකි කියන්නන් නිරතුරුවම මතකයට නැගූ සිදුවීමක් ලෙස ද අදාළ තරගාවලිය පෙන්වා දිය හැක.

2010- 11 තරග වාරයේ ගබා තරගය ජය පරාජයෙන් අවසන් කර ගත් එංගලන්තය එම තරගාවලිය ජය ගන්නට ද සමත් වූ අතර, එම මතකය ධනාත්මක බලවේගයක් ලෙස යොදා ගනිමින් මෙවර තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉංග්‍රීසි ජාතික කඳවුර සැරසෙනු ඇති. ගබා ක්‍රීඩාංගණයේ තත්ත්වයට වෙනස් තත්ත්වයන් හමුවේ වුවත්, පුහුණු තරග 3 තුල දී දැක්වූ දස්කම් ද එංගලන්ත කඳවුරේ ධනාත්මක චින්තනයට රුකුලක් වී තිබේ.

පුහුණු තරග තුන තුල දී එංගලන්ත මුල්පෙළ පිතිකරුවන් හය දෙනාම ලකුණු අතරට පිවිසුණ අතර, ජේම්ස් ඇන්ඩර්සන් සහ ක්‍රිස් වෝක්ස් පන්දුවෙන් ඉහළ දස්කම් දක්වන්නට සමත් විය. ඔවුන් දෙදෙනාට අමතරව ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ජේක් බෝල් එංගලන්ත වේග පන්දු බල ඇණිය සවිමත් කරද්දී කණ්ඩායමේ සිටින එකම දඟ පන්දු යවන්නා වන්නේ මොයීන් අලී ය. නායක ජෝ රූට් සහ හිටපු නායක අලිස්ටයාර් කුක් ට අමතරව මාක් ස්ටෝන්මන්, ජේම්ස් වින්ස් සහ ඩේවිඩ් මාලන් ද, ඕස්ට්‍රේලියානු වේග පන්දු තුරුම්පු සමගින් සටන් කිරීමට එංගලන්ත බල ඇණියේ සටන් කරුවන් ලෙස නම් කර තිබේ.

එංගලන්ත කණ්ඩායම මේ වන විට සිය තුරුම්පු තුන් ඉරියව් ක්‍රීඩකයා වන බෙන් ස්ටෝක්ස් සමඟ සමගි සන්ධානයකට පිවිසෙමින් සිටින අතර, සැප්තැම්බර් මාසයේ දී බ්‍රිස්ටල් නුවර රාත්‍රී සමාජ ශාලාවක් අසල ඇති කර ගත් ගැටුම පිළිබඳ චෝදනාවට ඔහු ලබන තීන්දුව අනුව එංගලන්තයේ නවතා ගිය ස්ටෝක්ස්ගේ සේවය ඕස්ට්‍රේලියානු අභියෝගය සඳහා ලැබේ ද යන්න තීරණය කෙරෙනු ඇත.

සත්කාරක ඕස්ට්‍රේලියාවට මෙම තරගයට පෙර හීන් දාඩිය දමන සිදුවීමක් බවට පත්ව තිබුණේ ඩේවිඩ් වෝනර් පන්දු රැකීමේ පුහුණුවක් අතරතුර බෙල්ලේ ආබාධයකට ලක් වීමයි. ඒ අනුව වහාම ග්ලේන් මැක්ස්වෙල් සංචිතයට කැඳවීමට පියවර ගත්ත ද, ඕස්ට්‍රේලියානු කඳවුරෙන් වාර්තා වන්නේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසීමට වෝනර් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි.

වෝනර් සමඟ ඉනිම ආරම්භ කිරීම සඳහා මෙවර වාසනාව ලබන්නේ හෙට තම බැගී ග්‍රීන් හිස්වැසුම පළමු වරට පළඳින්නට සුදුසුකම් ලබා සිටින කැමරන් බෑන්ක්‍රොෆ්ට් ය. ජැක්සන් බර්ඩ් සහ චැඩ් සේයර්ස් හට ක්‍රීඩාගාරය නියම කළ ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුව වසර 7කට පසු ටීම් පේන් කඩුල්ල පසුපස වගකීම සඳහා කැඳවා තිබේ. අංක 6 පිතිකරණ ස්ථානය ෂෝන් මාෂ් හට පවරෙද්දී සුපුරුදු පරිදි කණ්ඩායමේ දඟ පන්දු යවන්නා ලෙස කටයුතු කරන්නේ නේතන් ලයන් වේ.

උණුසුම් සටන ජය පරාජයෙන් තොරව අවසන්

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර කල්කටා හිදී පැවැත්වූ පළමු ටෙස්ට් තරගය…

අළු බඳුන ආරම්භක තරගයේ තීරණය වෙනස් කරන සාධකය වේග පන්දුවේ බලය තහවුරු කර ගන්නා ආකාරය වන බව නොඅනුමානය, නමුත් එංගලන්තයට ධනාත්මකව සිතන්නට සුළු කරුණක් ඉතිරිව තිබේ. ඒ ඔවුන් අවසන් අළු බඳුන තරගාවලි පහෙන් 4ක් ම ජය ගෙන තිබීමයි.

පළමු තරගයට සහභාගී වන කණ්ඩායම්.

ඕස්ට්‍රේලියාව – කැමරන් බෑන්ක්‍රොෆ්ට්, ඩේවිඩ් වෝනර්, උස්මාන් කවාජා, ස්ටීවන් ස්මිත් (නායක), පීටර් හෑන්ඩ්ස්කෝම්බ්, ෂෝන් මාෂ්, ටිම් පේන් (කඩුලු රකින්නා), මිචෙල් ස්ටාර්ක්, පැට් කමින්ග්ස්, නේතන් ලයන්, ජෝෂ් හේසල්වුඩ්.

එංගලන්තය – අලිස්ටයාර් කුක්, මාක් ස්ටෝන්මන්, ජේම්ස් වින්ස්, ජෝ රූට් (නායක), ඩේවිඩ් මාලන්, ජොනී බෙයර්ස්ටෝ (කඩුලු රකින්නා), මොයීන් අලී, ක්‍රිස් වෝක්ස්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජේම්ස් ඇන්ඩර්සන්, ජේක් බෝල්.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<