ආසියාව දිනන්නට ශ්‍රී ලංකා වොලිබෝල් ශූරයෝ සැරසෙති

329

එළඹෙන අගෝස්තු 18 වැනිදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී ආරම්භ වීමට නියමිත 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ දී වොලිබෝල් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා 14 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබේ.

පසුගිය දා නිමාවට පත්වූ 2018 ආසියානු පිරිමි ක්‍රීඩා සමාජ වොලිබෝල් ශූරතාවලිය සඳහා ලංකා ලයන්ස් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින්ම මේ සංචිතය සඳහා ද නම් කර තිබීම විශේෂත්වයක්. ලංකා ලයන්ස් කණ්ඩායම ලෙස තරගාවලියට එක්වුණේ ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමයි.

රටවල් 8කින් එක වෙන්න ශ්‍රී ලංකා වොලිබෝල් සිහින දකී

සැප්තැම්බර් මස 15 වැනිදා සිට සැප්තැම්බර් මස 21 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා…

එම තරගාවලියේ දී නව සර්බියානු ජාතික පුහුණුකරුවෙකු යටතේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේ 11 වන ස්ථානයෙන් මිදී මේ වසරේ 7 වන ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර ඒ මානසික ශක්තිය ආසියානු වොලිබෝල් පිටිය තරණය කරන්නට යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉතා වැදගත් වනු ඇත.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ චාමර මිහිරාන් කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇති අතර සර්බියානු ජාතික Dejan Vulicevic කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.

පළමු වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වය දරන චාමර මිහිරාන් සිය නව පුහුණුකරුවා පිළිබඳ මෙසේ අදහස් දැක්විය.

“විදෙස් පුහුණුකරුවෙකු හමුවේ අපි අලුත්ම ආකාරයකට තමයි පුහුණුවීම් කරන්නේ, සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා පුහුණුකරුවන්ගේ නැති ගොඩක් උපක්‍රම නව පුහුණුකරුවා අපිට කියලා දුන්නා, අපි ආසියානු තරගාවලිය ඉලක්ක කර ගෙන බොහොම ඉහළ මට්ටමක පුහුණුවක් ලැබුවා.”

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ ඉදිරි බලාපොරොත්තු හා ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළමු ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවය පිළිබඳවත් ඔහු අදහස් දැක්වූවා.

“අපි ආසියානු ක්‍රීඩා උළෙලට යන්නේ සැප්තැම්බර් මාසයේ කොළඹ දී පැවැත්වෙන පළමු ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවයට පෙර පුහුණුවක් ලෙස, මේ අත්දැකීම් සමඟ ලංකාවේ දී පැවැත්වෙන තරගාවලියේ පළමු ස්ථානය දිනා ගැනීම තමයි අපේ අරමුණ”

නිමා වූ ලංකා ලයන්ස් සංචාරය පිළිබඳවත් අදහසක් දක්වන්නට ඔහු අමතක කළේ නැහැ.

“මීට පෙර ශ්‍රී ලංකාවේ කිසිම කණ්ඩායමක් මුල් හත් දෙනා අතරට පැමිණ තිබුණේ නැහැ, පළවෙනි වතාවට තමයි මුල් කණ්ඩායම් හතර අතරට ආවේ, අපි තරග හතකින් තරග පහක් ජය ගත්තා, අපි බොහොම ඉහළ මට්ටමක ඉන්නවා කියලා කියන්න පුළුවන්.”

සර්බියානු ජාතික Dejan Vulicevic මහතා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දක්ෂතා පිළිබඳ ThePapare.com වෙත ඉතා සතුටින් අදහස් දැක්වූවා.

“මම ගොඩක් පුදුම වෙලා ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දක්ෂතාවලින්, මම මේ තරම් දක්ෂතා ඇති ක්‍රීඩකයින් හමුවේවි කියා බලාපොරොත්තු වුනේ නැහැ, විශේෂයෙන්ම ශාරීරික යෝග්‍යතාව හා විනය අතින්. එහෙම කණ්ඩායමක් පුහුණු කරන්න බොහොම පහසුයි.”

එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගෙන සිදු කළ වෙනස්කම් පිළිබඳව ඔහු මෙසේ පැවසුවා

“අපි සුළු සුළු අලුත් අත්හදාබැලීම් කිහිපයක් කළා, ලොකු ලොකු වෙනස්කම් කළේ නැහැ, යොවුන් ක්‍රීඩකයින් නිසා වෙනස්කම් කරන්න ඉතා පහසුයි.”

ආසියානු ක්‍රීඩා උළෙලේ ඔහුගේ බලාපොරොත්තු පිළිබඳ මෙසේ අදහස් පල කළා.

“අනෙක් කණ්ඩායම් අපිට වඩා හොඳ වෙන්න පුළුවන්, නමුත් ඔවුන් ඒ බව පිටියේ දී පෙන්වන්න ඕන, අපි සියලු කණ්ඩායම් සමඟ හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා, මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී අපි චීනය, තායිලන්තය හා වියට්නාමය සමඟ ක්‍රීඩා කරනවා, ඒ රටවල් තුනටම බොහොම හොඳ වොලිබෝල් ලීග් තරගාවලියක් තිබෙනවා, ඔවුන් විශාල වශයෙන් ඒ සඳහා මුදල් ආයෝජනය කරනවා, විදේශ පුහුණුකරුවන්, ක්‍රීඩකයින් කැඳවනවා, ඔවුන්ගේ ජාතික තලය ඉතා හොඳයි, නමුත් මම කිවුවා වගේ ඔවුන් ඒක පිටිය තුල දී පෙන්වන්න ඕන, අපි ආසියානු ක්‍රීඩා උළෙලේ මීළඟ වටය දක්වා යන්නට උත්සහ කරනවා.”

ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාවට ලබා දී ඇති ස්ථානය පිළිබඳව නම් ඔහු එතරම් සතුටු වුනේ නැහැ.

“වොලිබෝල් තමයි ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව, නමුත් එය ජාතික ක්‍රීඩාව වන්නේ කොලයකට පමණයි, පාසල් කණ්ඩායම් 5000ක් පමණ වොලිබෝල් ක්‍රීඩා කරනවා, නමුත් ජාතික තලය දක්වා පැමිණෙන්නේ කිහිපදෙනයි, ඔබට විශාල දක්ෂතාවයක් තිබෙනවා, දෙවියෝ දුන්නු දක්ෂතාවයක්, නමුත් පද්ධතිය වෙනස් විය යුතුයි, වොලිබෝල් ගෘහස්ථ ක්‍රීඩාවක්, නමුත් ලංකාවේ තරගාවලි ගෘහස්ථ නැහැ, සම්මේලනය හොඳ සහයක් ලබා දුන්නත්, රජයෙනුත් හොඳ සහයක් ලැබෙන්න ඕන, ක්‍රීඩකයින්ට හොඳ පුහුණුකරුවන්, භෞත චිකිත්සකයින් ලැබෙන්න ඕන.”

චාල්ස් තිලකරත්න මහතා සහය පුහුණුකරු ලෙස කටයුතු කරන අතර නලින් සම්පත් අබේසිංහ මහතා භෞත චිකිත්සක පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා සංචිතය

චාමර මිහිරාන් (යුධ හමුදා), ෂමිල් මලින්ද සිල්වා (යුධ හමුදා), ජනිත සුරත් (ශ්‍රී ලංකා වරාය අධිකාරිය), දීප්ති රොමේෂ් (ශ්‍රී ලංකා විදුලි බල), ගයාන් මදුශංක (ශ්‍රී ලංකා විදුලි බල), ඒ. ඩබ්ලිව් ලක්මාල් (ශ්‍රී ලංකා විදුලි බල), ප්‍රමේෂ් ප්‍රසන්න (ගුවන් හමුදා), අයේෂ් දිල්හාන් (ශ්‍රී ලංකා විදුලි බල), ලසිඳු මෙත්මල් (ශ්‍රී ලංකා වරාය අධිකාරිය), කසුන් චතුරංග (ශ්‍රී ලංකා විදුලි බල), වසන්ත ලක්මාල් (යුධ හමුදා), දනුෂ්ක දිල්ශාන් (ගුවන් හමුදා), මලිත් දනිඳු චාමර, ෂෙහාන් විමුක්ති (ශ්‍රී ලංකා වරාය අධිකාරිය)

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<