අහිමි වූ ගෞරවය යළි ලබා ගන්නට සහීරාවන් සමත් වෙයි

265
Zahira Kotmale

යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේ දී පැවති කොත්මලේ 19න් පහල පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟයේ දී, ගෝල 03-00ක් ලෙස යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය පරදවා අගනා ජයග්‍රහණයක් ලබා ගන්නට මරදාන සහීරා විද්‍යාලීය ක්‍රීඩකයෝ සමත් වූහ.

ඒ සමඟින් 2015 දී සාන්ත පැට්‍රික් විද්‍යාලය විසින් උදුරාගත් ගෞරවය නැවතත් තමා සතු කරගන්නට සහීරා විදුහල සමත් විය.

පසුගිය ලිපි: සහිරා ක්‍රීඩකයෝ තරගාවලියේ අවසාන වටයට

ප්‍රථම අර්ධයේදී සෆ්රාන් සතාර් විසින් ලබා දුන් 1-0ක පරතරය දෙගුණ කරගන්නට මොහොමඩ් ශාහිල් 51වන මිනිත්තුවේදී සමත් විය. ජයග්‍රහණය පිලිබඳ යම් සැක සංකාවක් වූයේ නම්, 80වන මිනිත්තුවේදී එයද අකාමකා ලන්නට ඔවුනට හැකි විය.

තරඟය ආරම්භයේ සිටම ආක්‍රමණකාරී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කල සහීරා විද්‍යාලයේ මොහොමඩ් මුර්ශිඩ් ප්‍රථම අර්ධයේ ප්‍රථම මිනිත්තුවේදීම එල්ල කළ පහරක් දැල ආසන්නයේදීම නවතාලන්නට ප්‍රතිවාදී ගෝල රකින ක්‍රීඩක ඒ. පිරුතාබන්ට හැකි විය.

ඉන් මිනිත්තු හතරක් ගත වන විට සහීරා විද්‍යාලය වෙනුවෙන් මොහොමඩ් ශාහිල් ගෝලයට යාර 22කට එපිටින් සිට එල්ල කළ පහරක් දැලේ දකුණු කණුවේ වැදී නැවත පිටියට පැමිණි අතර එය දැලෙන් ඈතට යවන්නට පැට්‍රික් විද්‍යාලීය ආරක්ෂකයන්ට හැකි විය.

19 වැනි මිනිත්තුවේදී ද මුර්ශිඩ් විසින් එල්ල කළ පහරක් නවතාලන්නට පිරුතාබන් සමත් විය.

ඉන් මිනිත්තු දෙකකට පසුව සාර්ථකව සහීරා ආරක්ෂක පෙලින් ඇතුළට පන්දුව ගෙන ආ පැට්‍රික් ක්‍රීඩකයන්ගේ ඉදිරියට නොබියව පැමිණි කලීල් රහුමාන් විසින් තම මුහුණ පවා තුවාල කරගනිමින් ගෝලයක් වාර්තාවන්නට තිබූ අවස්ථාවක් වළක්වාලනු ලැබිණි.

එතැන් සිට දෙපිලම කරට කර ක්‍රීඩා කළ අතර පැට්‍රික් ක්‍රීඩකයන් දිගින් දිගටම අසාර්ථක විය.

35 වන මිනිත්තුවේදී සංවිධානාත්මකව ආක්‍රමණයක යෙදෙන්නට සහීරා ක්‍රීඩකයන් සමත් විය. නායක ෆරූද් ෆායිස් සහ ශාහිල් එක්ව ඉදිරියට රැගෙන ආ පන්දුව, පිටියේ නිදැල්ලේ සිටි මුර්ශිඩ්ට ලැබුණු අතර ඔහු එය සාර්ථකව සතාර් වෙත යොමු කිරීමෙන් අනතුරුව පන්දුව සතාර් විසින් දැල තුළට යොමු කරන ලදී.  

පරතරය වර්ධනය කරගැනීමට දැඩි වෙහෙසක් ගත් සහීරා ක්‍රීඩකයන්ව එතැන් සිට පාලනය කරගැනීමට පැට්‍රික් විද්‍යාලීය ගෝල රකින්නා සහ ආරක්ෂකයින් සමත් විය. එහෙත් ආක්‍රමණයේදී සහීරාවන්ගේ උගුල් වලට නිතර හසුවන්නට ඔවුනට සිදුවිය.

ප්‍රථම අර්ධය: සහීරා විද්‍යාලය 1-0 සාන්ත පැට්‍රික් විද්‍යාලය

විවේක කාලය ඉකුත්වී මිනිත්තු හයක් ගත වන විට ආක්‍රමණකාරී සහීරා පිල වෙනුවෙන් යාර 25ක පමණ දුරක් සිට කල්යල් බලා එල්ල කරන ලද නිදහස් පහරක් මඟින් ගෝලයක් ලබා ගැනීමට ශාහිල් සමත් විය. එම ගෝලයත් සමඟින් 5000කට අධික ප්‍රේක්ෂකයන් එකා බැගින් පිටිය හැර යාමට වූයේ කණගාටුවෙනි.

එහෙත් තරඟය හොඳින් ක්‍රියාත්මක වූ අතර දෙපිලේම ගෝල රකින්නන්ගේ දක්ෂතා එහිදී කැපී පෙනුණේය.කෙසේ වෙතත් තරඟයේ 80 වැනි මිනිත්තුවේදී තම අත්දැකීම් මනාව ප්‍රදර්ශනය කරමින් ශාහිල් විසින් ලබා දුන් නිදහස් පහරක් තම හිසෙන් ගෝලය තුළය යැවූ මොහොමඩ් හමත් විසින් සහීරා විද්‍යාලයේ තෙවැනි ගෝලය වාර්තා කරන ලදී.

සම්පුර්ණ කාලය: සහීරා විද්‍යාලය 3 – 0 සාන්ත පැට්‍රික් විද්‍යාලය.

ThePapare.com තරඟයේ වීරයා – මොහොමඩ් ශාහිල් (සහීරා විද්‍යාලය)

ශ්‍රී ලංකා පාපන්දු සංගමය විසින් තෝරාගත් දක්ෂතම ක්‍රීඩකයා – මොහොමඩ් ශාහිල්.
ශ්‍රී ලංකා පාපන්දු සංගමය විසින් තෝරාගත් හොඳම ගෝල රකින්නා – කලීල් රහුමාන් (සහීරා විද්‍යාලය)

ගෝල රැස්කළ ක්‍රීඩකයන් – (සහීරා විද්‍යාලය වෙනුවෙන්) සෆ්රාන් සතාර් 35′,මොහොමඩ් ශාහිල් 51′,මොහොමඩ් හමත් 80′.

මේ අතර වාරයේදී, කොත්මලේ 19න්  පහල පාපන්දු තරඟාවලියේ සාන්ත හෙන්රි විද්‍යාලය විසින් 3-0ක් ලෙස ජෝසප් වාස් විද්‍යාලය පරදවා තරඟාවලියේ තෙවන ස්ථානයේ ඉඩ වෙන්කරවා ගත්තේය.

ජෝසප් වාස් විදුහලේ තර්ජනාත්මක ක්‍රීඩා ශෛලියෙන් මඳ වෙලාවක් සලිත වී සිටි සාන්ත හෙන්රි විදුහල ප්‍රථම අර්ධය අවසාන වන විට එස්. රූබන්රාජ් ලබා ගත් ගෝලයක් සමඟින් 1-0ක් ලෙස ඉදිරියෙන් පසු වූ අතර ඥානේස්වරන් ඇන්තනීරාජ් සහ ඇන්තනී රමේෂ් විසින් පිලිවෙලින් තරඟයේ 54 සහ 79 යන මිනිත්තුවලදී වාර්තා වූ ගෝලද සමඟින් පෙර වසරේ ශූරයන් ලෙස ලබා තිබූ අභිමානය යම්තාක් දුරකට රැකගැනීමට සමත් විය.

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට