පිත්තේ වේගය පාකිස්තානු A කණ්ඩායමට ජය මග පාදයි

364
Sri Lanka A v Pakistan A 2nd test day 4

සිව්වන දිනයේදී වර්ෂාවෙන් කිසිදු සහනයක් නොලැබුනත්, පිත්තෙන් යම් සටන්කාමීත්වයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා A කණ්ඩායම, තම පිත්තේ සවිය පෙන්වමින් පරාජය කරන්නට පාකිස්තානු A ක්‍රීඩකයන් සමත් විය. ඒ දෙරට අතර එංගලන්තයේ වොරස්ටර්හි පැවති දෙවන සහ අවසන් නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගනිමිනුයි.

පසුගිය ලිපි: පාකිස්තානු A කණ්ඩායම හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා A කණ්ඩායමට වැස්සෙන් සහනයක්

ඊයේ අවසන් දිනයට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානු පළමු ඉනිමට වඩා ලකුණු 128ක් පසුපසින් සිටියේ කඩුලු 8ක් පමණක් අතැතිවයි. Night Watchman ලෙස පිටියට පිවිසි ලහිරු ගමගේ පන්දු 84ක් පුරා සටන්කාමී පිතිහරඹයක නිරත වෙමින් පිතිකරුවන්ට ආදර්ශයක් ලබා දීමට සමත් විය.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 88ක් ලබා සිටි ධනංජය ද සිල්වා දැවී ගියේ හසන් අලිට දෙවන ඉනිමේ පළමු කඩුල්ල හිමි කර දෙමිනුයි. ලහිරු ගමගේ ලකුණු 21කට දැවී ගිය අතර අනතුරුව රොෂේන් සිල්වා සමගින් එක්වූ නායක අශාන් ප්‍රියන්ජන් ශතක සබඳතාවක් ගොඩනැගුවේ 5වන කඩුල්ලට ලකුණු 102ක් රැස් කරමිනුයි.

අශාන් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමග ලකුණු 66ක් ලබා ගත්තා. රොෂේන් සිල්වා හතරේ පහර 5ක් සමග ලකුණු 40ක් රැස් කිරීමට සමත් විය. ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා A කණ්ඩායම ඉනිමක පරාජයේ අවමානයෙන් ඔබ්බට ගෙන යාමට සමත් විය.

කෙසේ වෙතත් පාකිස්තානු A කණ්ඩායමෙන් තරගයේ ග්‍රහණය ගිලිහෙමින් තිබියදී නැවතත් ඔවුන් තරගයට අවතීර්ණ වුයේ ශාදබ් ඛාන්ගේ සුපිරි පන්දු යැවීම හේතුවෙනුයි. තමන් ක්‍රියාත්මක කළ 12වන, 13වන සහ 14 වන පන්දුවාර තුළදී, ඒ වන විට ලකුණු අතර සිටි අශාන් ප්‍රියන්ජන්ට සහ රොෂේන් සිල්වාට මෙන්ම නිරෝෂන් දික්වැල්ලටද ක්‍රීඩාගාරයේ අසුන් වෙන් කරන්නට ඛාන් සමත් විය.

ශ්‍රී ලංකා A කණ්ඩායම ලකුණු 309කට කඩුලු 9ක් දැවී අසරණ තත්වයක පසු වූවත් අවසන් පිතිකරු අසිත ප්‍රනාන්දු සමග එක්වූ මිනෝද් භානුක ලකුණු 49ක සබඳතාවක් ගොඩනැගුවේ කණ්ඩායමට සටන්කාමී ඉලක්කයක් ලබා දෙමිනි.

භානුක හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමග නොදැවී ලකුණු 54ක් රැස් කළේය. අසිත ප්‍රනාන්දු ලබාගත්තේ ලකුණු 2ක් වුවත් මිනිත්තු 48ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් භානුකට සහය විය. කෙසේ වෙතත් පන්දුවාර 93.2ක් තුළ ශ්‍රී ලංකා A  දෙවන ඉනිම ලකුණු 358කට නිමා වූයේ හසන් අලි තම 4වන කඩුල්ල ලෙස අසිත ප්‍රනාන්දුගේ කඩුල්ල හිමි කර ගැනීමත් සමගයි.

ශ්‍රී ලංකා පිතිකරුවන් අවසන් දිනයේ තේ පානයෙන් පසු මිනිත්තු 15ක් පමණ ගත වනතුරුම තම ඉනිම බේරා ගැනීම නිසා, ජයග්‍රහණය සඳහා හිමිවූ ලකුණු 148ක ඉලක්කය සපුරාගන්නට පාකිස්තානු A කණ්ඩායමට ඉතිරිව තිබුනේ පන්දුවාර 23ක උපරිම සීමාවක් පමණි..

මුල සිටම දැවැන්ත පහර එල්ල කිරීම හේතුවෙන් පාකිස්තානු A කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 37ක් වෙද්දී බිඳ වැටුණි. නමුත්, මේ යුගයේ ක්‍රීඩකයන්ට වඩාත්ම සමීප තරග රටාව වන 20-20 තරගයක පිතිකරණ රටාවට පිවිසි පාකිස්තානු A පිතිකරුවන් පන්දුවාර 19.1ක් පමණක් වැයකරමින් අදාළ ඉලක්කය පසු කර යන්නට සමත් විය.

ජාත්‍යන්තර එක්දින අර්ධ ශතක 5කටද හිමිකම් කියන නායක බාබර් අසාම් පිති ප්‍රහාරයේ පෙරමුණ ගත්තේ පන්දු 48ක් තුළ වේගවත් ලකුණු 66ක් නොදැවී රැස්කරමිනුයි. අසාම්ගේ ඉනිම හතරේ පහර 4කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය. ඔහුට අනගි සහයක් ලබා දුන් සෞඩ් ශාකීල් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තේ හතරේ පහර 4ක් සමගිනි.

මේ අනුව පන්දුවාර 19.1ක් අවසානයේ පාකිස්තානු A ජයග්‍රාහී ලකුණු පුවරුව 184/2ක් ලෙස දැක්විණි.

දෙරටේ A කණ්ඩායම් අතර පැවති පළමු නිල නොවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවූ අතර, ඒ අනුව තරග 2කින් සමන්විත තරගාවලිය අවසන් වූයේ ජය පැරදුමෙන් තොරවයි.

ශ්‍රී ලංකා A පළමු ඉනිම – සියල්ලන් දැවී 250 (69.5) රොෂේන් සිල්වා 57, උදාර ජයසුන්දර 53, අශාන් ප්‍රියන්ජන් 36, නිරෝෂන් දික්වැල්ල 35,  මහේල උඩවත්ත 26, මිර් හම්සා 4/62, හසන් අලි 3/70, අසිසුල්ලා 2/43

පාකිස්තානු A පළමු ඉනිම – 461/8d (117) සෞද් ශාකීල් 86, මොහොමඩ් හසන් 73, මොහොමඩ් නවාස් 52, හසන් අලි 50*, ශාදබ් ඛාන් 48, ධනංජය ද සිල්වා 2/28, විශ්ව ප්‍රනාන්දු 2/104, ලහිරු ගමගේ 2/115


ශ්‍රී ලංකා A දෙවන ඉනිම – සියල්ලන් දැවී 358 (93.2) ධනංජය ද සිල්වා 88, අශාන් ප්‍රියන්ජන් 66, මිනෝද් භානුක 54*, රොෂේන් සිල්වා 40, මොහොමඩ් නවාස් 4/67, ශාදබ් ඛාන් 4/89

පාකිස්තානු A දෙවන ඉනිම – 148/2 (19.1) බාබර් අසාම් 66*, සෞඩ් ශාකීල් 51*, ශර්ජීල් ඛාන් 19, විශ්ව ප්‍රනාන්දු 2/38

අවසන් තරග ප්‍රතිඵලය – පාකිස්තානු A කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට