කන්ද උඩරට සුලෝහිත කුසලානය ලේක්වීව් කන්දට ද? පැවිලියන් පාරට ද?

406

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය අතර 113 වැනි වරටත් පැවැත්වෙන කන්ද උඩරට සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 16 සහ 17 දෙදින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ලණු පැදුරු මතින් ඇරඹි රන් සටන් සංග්‍රාමයේ අභිමානවත් 69 වැන්නට පෙර

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වෙන…

ටී. බී. තෙන්නකෝන් අනුස්මරණ කුසලානය වෙනුවෙන් තරග වදින මෙම තරග මාලාවේ මෙතෙක් පැවැති තරග අතුරින් අවස්ථා 33ක දී ධර්මරාජ විද්‍යාලය ජයග්‍රහණය කර ඇති අතර අවස්ථා 19ක දී කිංග්ස්වුඩ් විද්‍යාලය ජයග්‍රහණය කර ඇත. සෙසු තරග ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග ලෙසින් වාර්තා පොත් අතර සටහන් වේ.  

සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් මෙවර ධර්මරාජ විද්‍යාලය මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ සිව්වැනි වසරේ වර්ණලාභී සචින්ත සේනානායක වෙත ය. කිංග්ස්වුඩ් විද්‍යාලය සිව්වැනි වසරේ වර්ණලාභී තුන් ඉරියව් ක්‍රීඩක දීගායු බණ්ඩාර ය.

මෙවර තරගාවලියේ දී ධර්මරාජ විද්‍යාලය පළමු කොටසේ තරගාවලිය නියෝජනය කරමින් තරග 14කට සහභාගී වෙමින් කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයට එරෙහිව ජයග්‍රහණයක් වාර්තා කරමින් අනෙකුත් තරග ජය පරාජයෙන් අවසන් කර ගනිමින් අපරාජිතව සුලෝහිත සංග්‍රාමයට සූදානම් වෙන අතර කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ දෙවන පෙළ තරගාවලියේ තරග 13කට සහභාගී වෙමින් දෙහිවල එස්. ද එස්. ජයසිංහ මහා විද්‍යාලය සහ කොළඹ අසෝක විද්‍යාලයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරමින් ද මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය වෙතින් පරාජයට පත් වෙමින් ද සුලෝහිත සංග්‍රාමයට සහභාගී වෙති.

කන්ද උඩරට සුලෝහිත සංග්‍රාම අතීතය

තරගමාලාවේ ආසන්තම ජයග්‍රාහකයන් වන්නේ ධර්මරාජවරුන් ය. ඔවුන් 2015 වසරේ දී තරූෂ වේරගොඩගේ නායකත්වය යටතේ මෙම ජයග්‍රහණය වාර්තා කළහ. කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ කන්ද උඩරට සුලෝහිත කුසලානය අවසන් වරට දිනා ඇත්තේ 1958 වසරේ ය. ඒ මොරිස් ප්‍රනාන්දු යටතේ ය.

1893 වසරේ දී ආරම්භ වූ මෙම තරග මාලාවේ ධර්මරාජ විද්‍යාලයේ පළමු නායකත්වය පසුකාලයේ ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයෙක් වූ ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක මහතා විසින් දැරූ අතර කිංග්ස්වුඩ් විද්‍යාලයීය නායකත්වය ඒ. ඊ. ස්පෙන්සර් විසින් මෙහෙයවන ලදි. බෝගම්බර පිටියේ දී පැවති මෙම තරගයේ දී විද්‍යාල දෙකේම ගුරුවරුන් ද සහභාගී වෙමින් පවත්වා තිබෙන අතර පළමු තරගයේ නායකත්වය දෙවිදුහල් හී විදුහල්පතිවරුන් විසින් දරන ලදි.

එසේ ආරම්භ වූ මෙම තරග මාලාවේ පළමු ශිෂ්‍ය කණ්ඩායම් පමණක් සහභාගී වෙන්නේ 1899 වසරේ දී ය. ඒ ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් ජේ. සී. ද මෙල් ද කිංග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් ටී. බී. මාෂල් ද යටතේ ය.

කන්ද උඩරට සුලෝහිත සංග්‍රාම ඉතිහාසයේ බොහෝ වාර්තා දැනට දශක ගණනාවකට ප්‍රථම වාර්තා වී තිබීම වර්තමාන ක්‍රීඩකයන්ට තිබෙන වැඩිම පීඩනය වී තිබේ. තරග ඉතිහාසයේ ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් ඉනිමක වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා වී ඇත්තේ සේනක දිසානායක ය. ඔහු 1983 වසරේ දී ද්විත්ව ශතකයක් රැස් කරන අතර එය අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ රැස් කරන ලද ප්‍රථම ද්විත්ව ශතකය ලෙසත්, කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ වාර්තා වූ එකම ද්විත්ව ශතකය ලෙසත් ඉතිහාස ගතවේ. කිංග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් එකී වාර්තාවේ හිමිකරු වන්නේ 1959 වසරේ දී ක්ලිෆර්ඩ් රත්නවිභූෂණ ලබා ගත් ලකුණු 167 යි. තරගමාලාවේ මංගල ශතකය ලබා ගැනීමේ ගෞරවනීය හිමිවෙන්නේ ධර්මරාජ විද්‍යාලයේ පී. එල්. ආතර් අල්විස් ය.

ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වෙන්නේ 1916 වසරේ දී කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආර්. බ්‍රෝකර් විසින් ලකුණු 7කට ලබා ගත් කඩුලු 8යි. එකී දක්ෂතාව ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් කර ඇත්තේ 1914 දී ලකුණු 90කට කඩුලු 8ක් ලබා ගත් ඒ. ජයසුන්දර යි.  

පන්දු යවන්නන් අතුරින් හේමේන්ද්‍ර කෙන්නායක 1971 වසරේ දී ලකුණු 66කට ලබා ගත් කඩුලු 12 ඉහළම දක්ෂතාව ලෙසත්, කිංග්ස්වුඩ් විද්‍යාලයේ සේනක අබේගුණවර්ධන 1966 වසරේ දී ලකුණු 107කට ලබා ගත් කඩුලු 11 එම විද්‍යාලය වෙනුවෙන් ඉහළම දක්ෂතාව ලෙසත් සටහන්ව තිබේ.

ලේක්විව් කන්දේ සිට පල්ලෙකැලේට පිවිසෙන ධර්මරාජවරුන් මෙවර තරගයේ දී තමන් සතුව තිබෙන කන්ද උඩරට සුලෝහිත කුසලානය තව දුරටත් තමන් සන්තකයේම තබා ගැනීමට උත්සාහ කරද්දී, මීට වසර 61කට පෙර සුලෝහිත කුසලානයේ විඳි උණුසුම නැවත තමන් සන්තක කර ගැනීමට පැවිලියන් පාරේ සිට පල්ලෙකැලේට පිවිසෙන කිංග්ස්වුඩ්  ක්‍රීඩකයෝ ද උත්සුක වනු ඇත.

එකී උත්සාහය සාර්ථක වන්නේ නිමා වූ පාසල් ක්‍රිකට් තරගවාරයේ දී එකිනෙකා කළ කී දේ අනුව නොව මෙම තරගයේ දී කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයෝ තම දක්ෂතා සමඟින් සජීවී වන ආකාරයෙනි. එම තරග උණුසුමත් සමඟින් කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ දී සටන් වදින ධර්මරාජවරුන්ටත්, කිංග්වුඩ්වරුන්ටත් ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම් එක් කරමු.

කිංග්ස්වුඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම;

දීගායු බණ්ඩාර (නායක), උත්පල ජයලත්, හෂික ගමගේ, හර්ෂණ වික්‍රමසිංහ, ලක්මාල් ද සිල්වා, දුමිඳු දම්සික, දේවින්ද දිසානායක, නවෝද්‍ය වීරසේකර, අචල බෝගොඩවත්ත, දුමිඳු බණ්ඩාර, මහසෙන් රණසිංහ, විනුක පුස්සෙපිටිය, මහිදුල එදිරීවීර, කේශර පනන්වල, ශ්‍රීමාල් බණ්ඩාර, කෙවින් ඇන්තනී

ප්‍රසාද් රණවක (පුහුණුකරු)

ධර්මරාජ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම;

සචින්ත සේනානායක (නායක), රුක්මල් දිසානායක, දුලාජ් බණ්ඩාර, විරාජිත් ඇහැළේපොළ, නවිඳු ඩිල්ශාන්, චේතිය ඒකනායක, උපේන්ද්‍ර වර්ණකුලසූරිය, යසිත සමරරත්න, චේතිය වීරකෝන්, ඉසුරු දයානන්ද, මිතිල ගයාෂාන්, ධනුක මාරසිංහ, සශ්‍රීක කිරිඇල්ල, තුෂාන් හේරත්, දිනුක පතිරාජ, සහන් සිරිවර්ධන, මුදිත ඊරියගම, යනිඳු යාපා, ධනුක රත්නායක, තුසිත ඩිල්ශාන්, අංජන දික්කුඹුර, ජනිත් ගුණතුංග, කේසර නුරාගොඩ

යූ. එස්. සී. පෙරේරා (පුහුණුකරු) චතුර වික්‍රමනායක (සහාය පුහුණුකරු)  

මහා සංග්‍රාමයේ උණුසුම සජීව ලෙස ඔබේ ආලින්දයට රැගෙන ඒමට ThePapare.com සූදානම් අතර තරග වාර්තා, ඡායාරූප සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<