ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 05ක්

375

22 වන වරට පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (09) ඔඩිෂා හි භූබනේශ්වර් නුවර දී අවසන් විය. මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය තුළ සමස්ත පදක්කම් 05ක් දිනා ගනිමින් තරගාවලිය සාර්ථකව අවසන් කරන්නට සමත් විය.

තරගාවලියේ ආරම්භක දිනයේ දී ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් ජයග්‍රහණය කරන්නට හෙල්ල විසි කිරීමේ තරග ඉසව්ව සඳහා සහභාගී වූ දිල්හානි ලේකම්ගේ සමත් විය. ඒ එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමත් සමඟ යි. අනතුරුව තරගාවලියේ අවසන් දිනය ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා සාර්ථකම දිනය බවට පත්වූයේ එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 04ක් දිනා ගන්නට සමත් වීමත් සමඟ යි.

ආසියානු ශූරතාවයට වර්ෂාවෙන් බාධා

විසි දෙවැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය ඊයේ (07) නිමාව දුටුවේ වර්ෂාවෙන් එල්ල වූ බාධා…

තරගාවලියේ ආරම්භක දිනයේ දී මීටර 100 තරග ඉසව්වෙන් අවාසනාවන්ත ලෙස ඉවත් වීමට සිදු වූ රුමේෂිකා රත්නායක අවසන් දිනයේ දී මීටර 200 ධාවන ඉසව්ව සඳහා සහභාගී වෙමින් තත්පර 23.43ක කාලයක් වාර්තා කරමින් එහි රිදී පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් විය. මෙම තරග ඉසව්වේ තේරීමේ වටයක දී ඇය තත්පර 23.40ක කාලයක් වාර්තා කර ගනිමින් ඇයගේ පෞද්ගලික හොඳම කාලය වාර්තා කර ගන්නට ද සමත් විය.

අනතුරුව බොහෝ දෙනා මහත් බලාපොරොත්තුවෙන් සිටි මීටර 800 ධාවන ඉසව්වෙන් ද සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට එම ඉසව්ව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

එහි දී ඉසව්වට හොඳ ආරම්භයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් එම ඉසව්ව සඳහා සහභාගී වූ නිමාලි ලියනාරච්චි සහ ගයන්තිකා අබේරත්න අනෙක් තරගකාරිනියන් පසුකරමින් දිව ගිය නමුත් ඉදිරියෙන්ම රැඳී සිටි අර්චනා, නිමාලිට සහ ගයන්තිකාට ඉදිරියට යාමට බාධා එල්ල කරනු ලැබීය.

මෙම සිදුවීමට ශ්‍රී ලංකාවේ කළමනාකාරිත්වය සිය දැඩි විරෝධතාව එල්ල කළ සිටි අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියානු ක්‍රීඩිකාව තරගයෙන් ඉවත් කරනු ලැබීය. ඒ අනුව එම ඉසව්වේ රන් පදක්කම නිමාලිටත්, රිදී පදක්කම ගයන්තිකාටත් හිමි විය. නිමාලි මිනිත්තු 2:05.23ක කාලයක් වාර්තා කරමින් ඉසව්ව අවසන් කළ අතර ගයන්තිකා එය අවසන් කරනු ලැබුවේ මිනිත්තු 2:05.27 ක කාලයක් වාර්තා කරමිනි. පසුගිය ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත් එකම පදක්කම දිනා ගනු ලැබුවේ නිමාලි විසින් වන අතර මෙවර තරගාවලියේ දී ඉතා හොඳ කාලයක් වාර්තා කරමින් රන් පදක්කම ජයග්‍රහණය කළ ඇය මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත් එකම රන් පදක්කමට හිමිකම් කීවේය. නිමාලි සහ ගයන්තිකා අතර පවතින තරගකාරීත්වය ඔවුන් දෙදෙනාටම විශාල වාසියක් වී ඇත්තේ ඒ හරහා ඔවුන්ගේ දක්‍ෂතාවන් ඉහළ නැංවී ඇති බැවිනි. ඒ අනුව මොවුන් දෙදෙනාගේ දක්‍ෂතා නිසා ඉදිරියේ දී බලාපොරොත්තු තබා ගත හැකි ඉසව්වක් බවට මීටර 800 කාන්තා ධාවන ඉසව්ව බවට පත්ව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් අවසන් පදක්කම වාර්තා වූයේ මීටර 400 x 4 පිරිමි සහාය දිවීමේ ඉසව්වෙනි. අජිත් ප්‍රේමකුමාර, දිලිප් රුවන්, ප්‍රදීප් කුමාර සහ ධනංජය යන ක්‍රීඩකයින්ගෙන් එම කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තේරීමේ වටයේ දී තරගයකින් තොරව ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන්නට සමත් විය. අනතුරුව ඉසව්වේ අවසන් තරගයේ දී ඔවුන් දෙවන ස්ථානයට තරගය අවසන් කරමින් රිදී පදක්කම ජයග්‍රහණය කරනු ලැබුවේ මිනිත්තු 03:04.80ක කාලයක් වාර්තා කරමිනි. එම ඉසව්වේ රන් පදක්කම දිනා ගනු ලැබුවේ ඉන්දියානු කණ්ඩායම යි.

ඒ අනුව තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම එක් රන් පදක්කමක් සහ රිදී පදක්කම් 04ක් ජයග්‍රහණය කරන්නට සමත් විය. කෙසේ නමුත් කාන්තා තුන් පිම්ම ඉසව්ව සඳහා සහභාගී වූ විදූෂා ලක්ෂානි හට ඉන්දියානු විනිසුරුවරයෙකුගෙන් ලැබුණු වැරදි තීරණය නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලෝකඩ පදක්කමක් හිමි වන්නට තිබුණි. එම තීරණයට එරෙහිව ශ්‍රී ලංකා කළමනාකාරිත්වය දැඩි විරෝධතා එල්ල කරනු ලැබුවත් ඇයට 4 වන ස්ථානයෙන් සෑහීමකට පත්වන්නට සිදු විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<