ලෝක ක්‍රිකට් බලවතුන්ගේ ආසියානු ආක්‍රමණයට දින නියම වෙයි

62

ලෝක ක්‍රිකට් පිටියේ සුප්‍රසිද්ධ ක්‍රීඩා තරු රැසක් සමඟින් ආසියානු කලාපීය විශිෂ්ටයින් එකොළොස් දෙනෙකු උරින් උර ගැටෙන උද්වේගකර ප්‍රදර්ශනාත්මක විස්සයි විස්ස තරගාවලිය එළැඹෙන මාර්තු මාසයේ 18 සහ 21 යන දින වලදී බංග්ලාදේශයේ ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට මේ වන විට සැලැසුම් කර ඇති බව සඳහන් වේ. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් මාර්තු 29 සිට

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන මාර්තු මස 29 වනදා ආරම්භ……

විස්සයි විස්ස තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ සත්කාරකත්වය දැරීම සඳහා ප්‍රථමයෙන් යෝජනා කර තිබුනේ අහමඩබාද් හි මෙටෙරා අන්තර්ජාතික ක්‍රීඩා පිටිය යි. නමුත් ක්‍රීඩාංගණයේ වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සඳහා තරග නැරඹීමේ අවස්ථාව සකසා දීමේ අරමුණින් සිදු කෙරෙන අළුත්වැඩියා කටයුතු වල ප්‍රමාදය නිසාවෙන් එම අවස්ථාව බංග්ලාදේශය වෙත පිරිනැමීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ. 

තවද දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉන්දීය සංචාරයට අදාලව පැවැත්වෙන තෙවන සහ අවසන් එක්දින තරගය ද යෙදී ඇත්තේ මෙම ප්‍රදර්ශනාත්මක විස්සයි විස්ස තරගාවලියේ ආරම්භක තරගය පැවැත්වෙන දිනයේ දී වීම ද මේ වන විට ගැටළුවක් බවට පත්වී ඇත. 

කෙසේනමුත් ඉන්දීය ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය ද මෙම තරගාවලියේ උණුසුම දෙගුණ තෙගුණ කිරීමට ඉවහල් වන බැවින් ඒ පිළිබඳව සලකා බලා ක්‍රීඩකයින් පස්දෙනෙකු අවසන් දකුණු අප්‍රිකානු එක්දින තරගයට මත්තෙන් සංචිතයෙන් නිදහස් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟතාව පළකර තිබේ. එසේ සහභාගී වන ක්‍රීඩකයින් කවුරුන්ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත ඉඟියක් ලබා දීමට ඔවුන් කටයුතු කර නොමැති අතර කණ්ඩායම් දෙකේ අවසන් සංචිත ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බව ද BCCI වැඩිදුරටත් සඳහන් කර සිටියේය. 

පුහුණු තරගයේ දී ශ්‍රී ලංකාවට අසාර්ථක ආරම්භයක්

2020 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග……

ප්‍රේක්ෂකයින් ලක්ෂ 1.1කට පමණ ඉඩ පහසුකම් සහිත ඉන්දියාවේ මොටෙරා ක්‍රීඩාංගණය දැනට ලොව ඉදිව ඇති විශාලතම ක්‍රිකට් ක්‍රීඩා පිටිය ලෙසින් ඓතිහාසික වාර්තා සියල්ල බිඳ දමමින් වාර්තා පොත් අතරට එක්වීමට නියමිතය. ඉන්දීය අගමැති ගරු නරේන්ද්‍ර මෝදී මහතාගේ සැලසුමකට අනුව ක්‍රියාත්මක වූ මෙම දැවැන්ත ව්‍යාපෘතිය මේ වන විට ඉතාමත් සාර්ථක අවසානයක් කරා ළඟා වෙමින් පවතින්නේ ඉන්දීය ක්‍රිකට් අනාගතය දෙස දුරදක්නා නුවණින් බලා සිදුකළ අනගි ආයෝජනයක් ලෙසිනි. අවසන් වරට මෙම ක්‍රීඩා පිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පවත්වා ඇත්තේ 2014 වසරේ දී වීම ද විශේෂත්වයකි. 

ඉන්දු-ඇමෙරිකා රාජතාන්ත්‍රික සබඳතා තරකර ගැනීමේ අරමුණින් ඉන්දීය සංචාරයක නිරත වන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ සුරතින් මෙම ක්‍රීඩාංගණය විවෘත කිරීමට අපේක්ෂා කෙරේ. එම සුවිශේෂී අවස්ථාව අරමුණු කර ගනිමින් පැවැත්වෙන සංකේතාත්මක උත්සාහය මෙම මස 24 වනදා ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සූදානමින් පසුවන බවට ඉන්දීය ක්‍රිකට් බළධාරීහූ සඳහන් කර සිටියහ. 

තරග කාලසටහන 

  • පළමු විස්සයි විස්ස තරගය – මාර්තු මස 18 වනදා – ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණය
  • දෙවන විස්සයි විස්ස තරගය – මාර්තු මස 21 වනදා – ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<